Monday, November 26, 2012

කර්ම



තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක් ...... එක් පසෙක තනිකඩ තරුණයෙක් ...... අනෙක් පස වසර ගණනකට පසු හමුවූ පෙම්වතුන් යුවලක් ......

පරිච්ඡේද 04 යි එක් චිත්‍රපටයයි.

ඉව ඇල්ලීම (Gaze)- බිත්තියෙන් එහා ජීවිත වලට එබී බලන තනිකඩයාගේ ජීවිතය.

හුස්ම (Breath)- අනෙක් පස" පමා වූ යෞවනයේ මඟ හැරුණු බලාපොරොත්තු.
දියවීම (Melt) - මේ සියල්ල අතරතුර තනිකඩයා හා බිත්තියෙන් එපිට ගැහැණිය ඔවුනොවුන්ගේ ජීවිත තුළ තමන්ගේ අවකාශය දැකීම.
භාව විරේචනය (Catharsis) - අනුන්ගේ ජීවිත තුළ තමන් සෙවීමට උත්සාහ කල තිදෙනා එකිනෙකාගේ ජීවිත සියැසින් දැකීම.

ඉතින් එහෙනම් උමගෙන් එහා ලෝකයට පුංචි ආර්ටිකල් එකක් දැම්මනම් හොඳයි කියලා හිතුණා. මම හිතන හැටියට ඔයාල හැමෝම වගේ මේ දිනවල තිරගත වන කර්ම චිත්‍රපටය ගැන අහල ඇති. ඉතින් මමත් බැලුවා. දැන උගත් වැඩිහිටියන් සඳහා පමණයි කියන වදන සෙට් එක දැක්කම නොයා ඉන්න විදිහක් තිබුණේම නෑ. ඉතාමත් කෙටියෙන් මේ චිත්‍රපටය ගැන කියනවානම් "it is superb". තමන්ට තමන්ගේම කියා ඔළුවක් තිබෙන ඕනෑම කෙනෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් ප්‍රසන්න ජයකොඩි ගේ කර්ම කියන්නේ.

කර්ම පටන් ගන්නේ එහි අවසානයෙන්. ඉන්පසු මෙහි එන ප්‍රධාන චරිත 3 වන අමන්දා, පියල්, නදීක යන තිදෙනාගේ ජීවිතයන් පිළිබඳ වටින් ගොඩින් එන්නා වූ අදහසක් ප්‍රෙක්ෂකයාට ලැබෙනවා. ඉන්පසු කථාවේ වන සිදූවීම්. අමන්දා සහ නදීකගේ ඇසෙනුත් බිත්තියෙන් එහා සිටින පියල්ගේ ඇසිනුත් වරින් වර නැවත නැවතත් දක්නට ලැබෙනවා. බිඳී විසිරී ගිය ආකාරයකින් දිග හැරෙන්නාවූ මේ කථාවේ කොටස් ගළපා එකට ඇළවීම ප්‍රේක්ෂකයා සතුය. තේරුම් ගන්නට සෑහෙන්න අමාරු වුවද බිදුණු කොටස් එකට ගැළපුණු පසු පෙනෙන කථාව නම් හිත ඇතුළටම කාවැදෙනු ඇත.

නදීකගේ චරිතය ගැන කියනවා නම් සෑහෙන්න එක විදිහක කෙනෙක්. ඔහු මෙහි රඟදක්වන චරිතය පිළිබඳව නම් මගේ වැඩි ප්‍රසාදයක් නැත. මන්ද ඔහු තුලින් මම දකින්නේ ආදරය කරන ගැහැණිය පිළිබඳ හැගීමක් තිබුණද තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු නොකිරීම නිසා ඇය අතහැර යන අනම්‍යශීලී සාම්ප්‍රදායික පිරිමියෙකි.

පියල්, ලෝකයෙන් බැට කා පලායන්නෙකි. ඔහුගෙ මව මිය ගියේ ඔහු නිසා යන අපවාදයත් ඒකාධිපති පියෙක්ගෙනුත් සමාජයෙනුත් පීඩාවට පත්වී පලා යන මේ තරුණයා තම තනිකම මකා ගන්නේ සුරතලයට ඇති කරන බළලෙකුගෙනි. බිත්තියෙන් එහා පැත්තේ සිටින්නන්ගේ ජීවිත වලට විශේෂයෙන්ම තරුණියගේ ජීවිතයට මොහු එබිකම් කරන්නේද සිය තනිකම නිසාම බව මඟේ හැගීමය.

අමන්දා, නැතිවෙන්නට දෙයක් නොමැති තරුණියකි. ලැබෙන්න සිටි දරුවාද නැතිවී, ගබ්සාවක් කිරීමට අකමැති වීම නිසා පෙම්වතාද ඉවත යාමට අමතරව පියයුරු පිළිකාවක් නිසා මරණාසන්නව සිටින ඇයට බිත්තියෙන් එහා සිටින තනිකඩ තරුණයාට තමන් පිළිබඳව ඇති සැලකිල්ල රහසක් නොවේ. 

මගේ හිතේ ගෙතුණු කථාව ගෙතී ඇත්තේ මේ මරණය දැක දැක ජීවත් වන තරුණිය සහ පියල් නම් තරුණයා වටාය. කොටසින් කොටස නොකීවද මෙහි දැක්වෙන රූප රාමු නෙත් අඟට කඳුලක් ගෙන එන්නට තරම් සංවේදී බව නම් කිව යුතුය. නැතිවෙන්නට දෙයක් නොමැති අමන්දා තමන් ගැන වද වන පියල් විමෝහනය කර ඇය සමඟ එක් වීමට පොළබවා ගන්නේ ඔහු ගැන තිබුණු සානුකම්පිත හැඟීම නිසාය. නමුත් මෙම තරුණිය සැත්කමකට භාජනය වී පියයුරක් ඉවත් කර ඇත්තියක බව ඔහු දකිනුයේ එවිටය (එය එලෙසින් දකින්නට ලැබෙන්නේ කථාවේ අවසානයටය). සිදුවූදෙය ගැන පසුතැවිලි වන පියල්, ඇයගේ අවසාන හුස්ම පොද තෙක් ඇය සමඟ සිට ඇයව රැක බලා ගනී. මෙතැන් සිට කථාව ඉතාමත් සංවේදීය. සුන්දර ප්‍රාණවත් තරුණිය මරණය අබියස සිටින පිළිකා රෝගියෙකු බවට පත්විමට වැඩි වේලාවක් යන්නේ නැත. මඟ හැර යා නොහැකි මේ ගැහැණියගේ ඕනෑ එපාකම් සියල්ල ඉටු කරන්නේ ඇයගේ බිත්තිය එහා පැත්තේ සිටි තනිකඩ තරුණයා ය. 

හැන්දකින් අමන්දාට සුප් ටිකක් පොවන පියල් එකවරම ඇයට වමනය යාමට එන විට එය එකතු කිරීමට බඳුනක් නැතිව සිය අත් දෙක එකට එකතු කර, ඇය වමනය කළ ලේ ටික එකතු කර රැගෙන ගොස් ඉවත් කරන අවස්ථාව ඉතා සංවේදීය.නැවතත් තනිව සිය අත එසවීමටවත් පණ නැති ඇයගේ සියළු ආවතේව කටයුතු කරන පියල්, හිස පසෙකට කඩා වැටී සිටින ඇයට Shania Twain නම් ප්‍රසිද්ධ බටහිර ගායිකාවගේ From this moment ගීතය හඬමින් ගයන රූප රාමු පෙළ තවමත් මගේ හදවත හරහා ගමන් කරන්නේ සිරුර හරහා ගමන් කරන තියුණු පිහියක් ලෙසටය.

ප්‍රසන්න ජයකොඩිට හොදට සල්ලි ඇති. අපේ රටේ ලාභ ලබන්න බැරි මේ වගේ චිත්‍රපටි හදන්නේ ඒ නිසා වෙන්න ඇති කියා මගේ මිතුරෙකු පැවසීය. කථාව නම් ඇත්ත. අපේ රටේ හිට් වෙන්න නම් ටෙනිසන් වගේ එකෙක් දාලා සුපර් සික්ස් වගේ මළ ජරාවක් ම පෙනවන්න ඕනෙ. ටෙනිසන් සුපර් සික්ස් එකේ නෑ. ඒත් සුපර් සික්ස් එකේ පබෝදා අමුවෙන් නටනවා කට ඇරගෙන බලන් ඉන්න අපේ අය කර්ම නිල් චිත්‍රපටියක්, ජරාවක් කියලා බනින එකනම් අවංකවම වේදනාවක්. අපේ රට කොහොමත් දුවන්නේ මවාගත්ත බොරු ආටෝප මතවාද සහ අනෙක් මිනිස්සුන්ට ඕනෙ එපා කරන විදියට මිසක් තමන් තමන් හැටියට නෙවෙයි. අමන්දලා පියල්ලා නදීකලා මේ සමාජයේ තව කොතරම් ඇද්ද? මේ අමන්දලා පියල්ලා නදීකලා ගැන සුදු පිරුවට අන්දා වසා ඇති යථාර්ථය දකින්නට තරම් හයියක් ඇත්නම් මෙහි ගැඹුරු අර්ථය දකින්නට තරම් සිහියක් තමන් සතු නම් කර්ම නැරඹිය යුතුමය. කඩතුරාවෙන් එළිය බලන්නට බය මේ සමාජයට කර්ම යනු කරුමයක්ම පමණි. ඉතින් කර්ම යනු කුමක්දැයි වටහා ගැනීමට බහුතරයකට නොහැකි වීම මටනම් පුදුමයක් නෙවෙයි. කෙටියෙන් කීවොත් මේ කෑ ගහන කාටවත් මේ කථාව තේරුම් ගන්න තරම් ඔළුවක් බුද්ධියක් ඇති නියල මම හිතන්නෙ නෑ. ප්‍රසන්න ජයකොඩියන් මට වීරයෙක් වෙන්නේ මේ වගේ ගොබ්බ සමාජයකට මෙතරම් ගැඹුරු චිත්‍රපටයක් ගෙන ඒමට තරම් කොන්දක් සහ නොවටිනා ලාභ පරමාර්ථයක් පමණක් පෙරටු කරගෙන කටයුතු නොකිරීම නිසයි. චරිත 3ක් සමඟ ඔහු තිරය මත මැවූ කථාව වචනයෙන් කියා නිම කළ හැක්කක් නොවේ. මෙය සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙක් නැරඹිය යුතුම වන්නේ ඒ නිසයි.

අන්තිමටම කියන්න ඕනෙ මේ චිත්‍රපටය සඳහා දායක වූ සියළුම දෙනාට, බොහෝම ස්තූතියි. කාලෙකට සැරයක් බලන්න හම්බෙන විදිහේ අමතක නොවෙන චිත්‍රපටයක්. ඉතින් මම මෙතනින් නවතිනවා ආයේ දවසක හම්බෙන්න බලාගෙන. කර්ම තේමා ගීතයෙන්ම නවතින්නම්. මේ ටිකේම අහන්නෙ ඒ සින්දුව විතරමයි. අහල බලන්න පල්ලෙහා ලින්ක් එකෙන්. ෆිල්ම් එක වගේම ලස්සන සින්දුවක්.

අනුනාද දෙන දෙලොවක
ආලිංගනාව අවසානයේ
ශූන්‍ය වී සිතිවිලී......සිතිවිලී........


අනුනාද වන (නදීක, නතාශා) කර්ම 



 
 Shadow Warrior - Fight for the truth that you believe in, even if you are standing alone against the tide






2 comments:

  1. සමහරුන්ට නම් කර්ම නිල් චිත්‍රපටියක් ය. "දැන උගත් වැඩිහිටියන්ට පමණයි" යන්නෙන් මෙම චිත්‍රපටයේ නිර්මාපකයන් උත්සාහ දරා ඇත්තේ එම නිල් කණ්නාඩියෙන් යතාර්ථය දකිනවුන් චිත්‍රපට ශාලාව පැත්ත පළාතකවත් නොගෙන්වීම නමැති මහා සමාජ සද්කාර්යය සඳහාය. මන්ද නිල් චිත්‍රපටියක් ලෙසින් කර්ම දකින ඔවුන්ට එය කළු චිත්‍රපටියක්ම කළ යුතු බැවිනි. මන්ද එසේ නොවුනහොත් යතාර්ථය තේරුම් ගන්නා අතලොස්සගේ තමන් තේරුම් ගන්නා සමාජ අඳුරු යතාර්ථය, මෙවන් මොළ නැත්තන්ගේ හිස වචන ඇසීමෙන් හිණිපෙත්තටම ගොස් සියදිවි නසාගැනීමට ද ඉඩ ඇති බැවිනි. සැබවින්ම නම් කර්ම යනු සුදු චිත්‍රපටියකි. සුදටත් වඩා අප හතර අත දකින සුදෙහි ඇති නොදකින කළු පැල්ලම් ලොකු කර පෙන්වන වචනයෙන් කියා නිමකල නොහැකි තරම් ශ්‍රේෂ්ට නිර්මාණයකි. ඉතාම හොඳ ලිපියක්.

    ReplyDelete
  2. අයියා මමත් මගේ හිතේ තියෙන ගොන් අයිඩියාස් ටික දාලා ආර්ටිකල් පොජ්ජක් ලීවා.. බලන්නකො..

    ReplyDelete