Monday, November 7, 2016

වීරයෙකුගේ නික්ම යාම


“රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි“

නිල් පාට කොට කලිසමක් ඇඳගෙන වසර ගාණකට කළින් පොඩි පන්තියක යාළුවොත් එක්ක මේ ගීතය ගායනා කරද්දී අපේ රට ජාතිය ගැන දැණුන ආදරයත් එක්කම මේ ගීතය ගායනා කරන්නේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් කියලා ගුරුතුමී කියල දුන්න හැටිත් චිත්‍රපටියක් වගේ මේ වෙලාවේ මැවිලා පෙනෙන බව මුලින්ම සදහන් කරන්නෙමු.

රැල්ලට දුවන සමාජයක අමරදේවයන් ගැයූ ගී මුළු රටක් සුවපත් කළ බව අවිවාදයෙන් යුතුව සිහිපත් කළ යුතුය. තමන්ටම ආවේණික වූ ගායන ශෛලියත් අංගචරන රසයත් එක්කර ගැයූ ඒ ගී අසමසම වන්නේ ඒ නිසාය.

“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා“ (සිරිසඟබෝ නාට්‍යය ධර්ම බුදුන්ගේ නමින් මුල් ගායනය හර්මන් රාජපක්ෂ) වාදනය නොවන උත්සවයක් නැති තරම්ය. බුදුගුණ, ජාතිකානුරාගය පමණක් නොව විවධ තේමා යටතේ මේ මහා ගාණ්ධර්යවාණන් ගැයූ ගීත, හදවතේ ගැඹුරුම තැන ස්පර්ෂ කර ජීවිතය ගායනා කරන්නේ අපේ කම හදවතින් දරාගත් මේ සොදුරුතම මිනිසාගේ ස්වරයෙනි.

"කුණු කය නිසරුයි නැත පවතිනේ..
කල හොද පමණයි.. මෙලොව රැදෙන්නේ..
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ..
අපටයි මිනිසුනේ..
අැයි එය නොසිතන්නේ..
නොතිර සසර සාගරේ..
ඉපිද මැරේ යලි ඉපදේ...."

සදාතනික සත්‍යය තව වරක් පසක් කරමින්, ඒ මහා අසමසම ගාණ්ධර්වයාණන් අද දැයෙන් සමුගෙන හමාරය.
මළහිරැ බසිනා ගොම්මන් අදුරේ සන්නාලියන්ගේ වෙවුලන දෑතින් නිමවූ සුදුමැලි සළු මතින්, සසර ගමනේ නිම් හිම් සොයමින්, ජීවන තොටුපළෙන් එතෙර වී ස්වර්ණ විමානෙන් එහා ලෝකයට, අපේ අමරදේවයන් රහසේම නික්ම ගොස් ඇත.

අතීතයෙන් ගඟ ගලා බසී. හැබැහින් දකින්නට තරම් පින් මදිවූ, ඔබගේ සප්ත ස්වරය වර්ණවත් කළ ඒ අතීතයේ සිහින සත හදවතට තුරුල් කරන්, ඒ ස්වරය මැකී ගිය අද දිනය දෙස ඇසේ මතුවන කඳුළු බිදු අතරින් බලා සිටිමු.

හන්තාන කදු මුදුන සිසාරා පවන් සලන හෙට දිනක, ඉර හද පායන ලෝකයක යළි හමුවෙන්නට පෙරුම් පුරන්නෙමු.

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නම් වූ ඒ මහා අසමසම ගාණ්ධර්වයාණෙනි,
ඔබට නිවන් සුව....

එ්ත්.....

“සසර වසන තුරු...
නිවන් දකින තුරු...
පින්කෙත හෙළ රන් දෙරණේ,
යළි උපදින්නට...
හේතු වාසනා වේවා,
හේතු වාසනා...“

ඉතින් හෙළයේ අසමසම ආදරණිය ගාණ්ධර්වයාණෙනි... ඔබට සුභ ගමන්...

(ඡායාරූපයේ අයිතිය අප සතු නොවන බව කාරුණිකව සලකන්න)

No comments:

Post a Comment