Monday, June 26, 2017

අමාත්‍යාංශ භීෂණය

සෞඛ්‍ය අමාත්‍යාංශ භීෂණය නැඟලා ඇවිත් දැන් බැහැලා යන අවස්ථාවේ මාගේ බුකි මිතුරු මිතුරියන් කියා සිටින්නා වූ දේවල් දෙස බලා සිට යම් කිසි කරුණු කාරණා කිහිපයක් ප්‍රකාශ කිරීමට සුදුසු යැයි සිතමි.

නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය යන දේවල් රටකට නැති විය යුතු නැත. නගරයේ අපි භුක්ති විදින වරප්‍රසාද ඈත ගම් දනව් වල අහිංසක දූ පුතුන් හටත් උරුම විය යුතුය. ඒ ගැන තර්ක දෙකක් නැත.

ගැටළුව ඇත්තෙ වෙන තැනකය. අගමුල පටලා ගෙන අවුල් වුණ පඹ ගාලක් තුළය. දැන් දකින්නට ඇත්තේ කාගේ කාගේත් දේශපාලනික වූ ගොන් තර්ක ගොන්නක් මිසක සාධාරණ අරමුණකට කරන්නා වූ විප්ලවයක් නොවේ.

අන්තරේ උදවිය අල්ලා ගෙන සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවටම බැන වැදීම පිළිගත නොහැකි සහ සිදු නොවිය යුත්තක බව මම සිතමි. විශ්ව විද්‍යාල තුළ ඔබ මම ගරු කරන ආදරය කරන අපගේම අය ඕනෑ තරම් සිටිති. රැල්ලට මාර්ක්ස් වාදීන් පස්සේ දුවනවා වෙනුවට ඔළුව පාචිච්චි කර ගැටළු විසදීමට උත්සහ කරන නිහතමානී උගතුන් රැසක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටිති. මී හරකුන් කිහිප දෙනෙකු නිසා එම සියලුම දෙනා හෙළා දැකීමට කාටවත් සාධාරණ අයිතියක් නොමැති බව එසේ කරන තකතීරුවන් සිහි තබා ගත යුතුමය.

විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා තමන් අති මහත් උසස් කුලයකට අයත්යැයි සිතමින් එම වරම නොලැබෙන වසරකට 80,000 ක් පමණ වන සිසු සිසුවියන් පහත් කොට සලකමින් උන්ට මඩ ගසමින් අවලාද නගමින් රගන්නා වූ පර කුලේ හැතිකරේ කීප දෙනාටද කිව යුත්තේ මෙයයි. ත්‍රීමාලා ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආ සිසු ව්‍යාපාරයට අද මහ ජනතාවගේ සහය අවශ්‍ය වී ඇති මොහොතක නුඹලාගේ ගොන්කම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමෙන් වැලකිය යුතුය. නුබලා කට අරින වාරයක් පාසා නුබලාගේ පැත්තට සිටින මිනිසුන් අඩු වනවාට වැඩි දෙයක් වන්නේ නැත.

උපාධිය ලැබුණු පළියට උගතුන් බිහි වන්නේ නැත. උපාධි නොතිබුණද බුද්ධි මට්ටම ඉහළ උගතුන් අප අතර සිටිති. ලංකාවේ කටපාඩම් ක්‍රමය තුල බිහිවන සෑම උපාධිධාරියාම එය ලැබිය යුත්තාමද යන්න සලකා බැලිය යුත්තේ කට පාඩමට දුර්වල බුද්ධිමතුන් අප හැමෝගේම පන්ති වලින් හැලී ගිය බව අපි සැවොම දන්නා නිසාමය. (උපාධිය හෑල්ලු කිරීමට ‍නොවේ. සෑම දෙනාටම අදාළ ද නැත)

රටේ සෑම දෙනාටම උසස් අධ්‍යාපනය සඳහා නිදහස් අධ්‍යාපන හිමිකම තිබෙන්නේනම් එය ඉතා වටිනා සම්පතකි. නමුත් 6% ක දළ දේශීය නිෂ්පාදනය අධ්‍යාපනය උදෙසා ලබා නොදෙන ආණ්ඩු සමඟ ඒවා දවල් හීන පමණි. කළ හැකි දෙය උගතුන් පාර්ලිමේන්තු යන දවසක මේවා අදියරෙන් අදියර විසදා ගැනීමය. උගතුන්ගෙ ආණ්ඩුව යනුවෙන් අදහස් කළෙ ජවිපෙ ආණ්ඩුවක් නොවන බව ද සලකන්න.

දේශපාලන වහලුන් අතර උපාධිධාරී වහලුන් සහ උපාධිධාරී කැරලි කරුවන් අපට අවශ්‍ය නැත. තමන්ගේ උන් වුණාට කමක් නැත. වැරදි විවේචනය කරන්න. ගොන් තර්ක දාන්න අවශ්‍ය නැත.

සියල්ලටම කලින් කරන්නට හැකි නම් බුකියේ ඇති ගොසිප් පේජ් ටික චකබ්ලාස් කරන එක හොද පටන් ගැන්මක් වෙයි. මොකද හොරට හදපුවත් තියනව. ඇත්ත මොනවද දන්නෙ නෑ. නිව්ස් මවනව. ඒවගෙන් වෙන්නෙ නැති මගුල් වලට මිනිස්සු අවුස්සන එක විතරයි. දැන් කට්ටිය අහනවා ඇයි නිදහස් උත්සවේට පාර වහනකොට බනින්නැත්තෙ. නෑ මිනිස්සු අම්මා මුත්තා නැතුව බනිනව. කැම්පස් උන්ට විතරක් බනින්නෙ අය. උන්ටත් බනිනව පාරවල් වැහුවම. අපි සමාජෙ තේරුම් ගන්න ඕනෙ. සරලව පොලිටික්කොයි කැම්පස් උනුයි ප්‍රයිවට් උනුයි බුකියෙ ලැගගෙන හිටියට රටේ අනිත් මිනිස්සු එහෙම පැය විසිහතරම ඔන්ලයින් නෑ. එහෙව එකේ ඒක ගැන හිතන් නැතුව දුක කදුළු වේදනාවේ ඔබ්බවල බුකියෙ පොස්ට් හද හදා දාන එක හරිම ගොබ්බයි. රටේ මිනිස්සු ගැන දැන ගන්න ඕනෙ උදවිය පාරට බහින්න. එතකොට බලන්න පුළුවන් පාරවල් වහන් නටන හැමෝගෙම ඉපදෙන්න ඉන්න උනුත් එක්ක මතක් කරල ජාතිය අමතන හැටි. අපේ මිනිස්සු ඒ අතින් හරි වෙනස්. හරිම සුන්දරයි. පාරට බැහැල බලන්නකො මිනිස්සු අතරට ගිහින්. මහ බැංකුව වුණත් එහෙමයි. මිනිස්සු තවම බනිනවා. ඒව දැක්කෙ නෑ කියන අය ඒවා නොදැක්කා වගේ ඉදල දැන් තමන්ගෙ වාසියට කියවල වැඩක් නෑ.

අමාත්‍යාංශ සිද්ධිය ගැන කිව යුත්තෙ මෙයයි. අන්තරේ සහෝදර ගොල්ල චේ ලා කස්ත්‍රෝ ලා පස්සේ රෙදි නැතිව හෝ ගියාට කමක් නැත. නමුත් ඔවුන් ඉන්නේ කියාබාවේ නොව ශ්‍රී ලංකාවේය. මෙරට නීති උන්ටද අදාළය. රටේ නීති හදන සහ ආරක්ෂා කරන උන් අමු අමුවේ එම නීති කඩන කොට රටේ උගත් කොටස්ද එම මාර්ගයේම ගමන් කිරීම රටකට කොතරම් සුදුසුදැයි එම සිද්ධිය සාධාරණීකරණය කරන්න වලි කන කවුරුත් සිතා බැලිය යුතය. මොකද එමගින් මුලු රටකට සහ බාල පරම්පරාවලට යන්නෙ වැරදි පූර්වාදර්ශයන් පමණක්ම වන නිසාය. අදාළ සිද්ධියේ වීඩියෝ බලන විට අමානුශික විදිහට ළමයි ගුටි කනවා දකින්න තියෙනවා වගේම එහෙම වෙන්න කළින් STF එක ඒක පාලනය කරගන්න හදන ඒවා ගහනවා වෙනුවට ගුටි නොකා පලයවු කියන්න වගේ නොගහ එළවන ඒවාත් තියනවා. ඒවා කවුරුත් කථා කරන් නෑ. ඕවට අල්ල ගන්න ඕනෙ ඇකා ලයි ඇකාගලෙත් මහ එකා ලා. මොකද ගහනව කියල දැන දැන ළමයි අවුස්සලා මකර කටට දානවට. රුසියාවෙ දෙවන ලෝක යුද්ධ කාලෙ රුසියන් සොල්දාදුවන්ට පසුබසින්න බෑ. මොකද For their glorious motherland කියල උන්ගෙම comrades ලා ජීවිත බේරගන්න ආපස්සට එන තමන්ගෙම උන්ට මැරෙන්න වෙඩි තිබිබ. ඒ විප්ලව කළේ එහෙම. ඒකෙ තේරැම ඒක හරි කියන එක නෙවෙයි. හතුරන්ගෙ විදිහට තමනුත් හැදෙන එක. ක්‍රමවේද වෙනස් කරන එක. ඒ නැතුව හැමදාම නාලා ගුටි කාලා අපි අද කෑව ඒත් අපි හෙටත් කන්න එනව කියල අර සූර පප්පා එකේ රෝමන් කාරයො වගේ නටන්න ඕනෙ නෑ. මොකද උබලට වදිද්දි අපිටත් රිදෙනව. මොකද උබලගෙ සමහර උන්ට අමතක වුණාට උබලත් අපේම උන්. අපි ඔක්කොම රටේ සිස්ටම් එකේ වැරදි හින්ද දුක් විදින උන්. ඒක තේරම් ගනිල්ලා. කවුරු කවුරුත් කරන්නෙ දේශපාලනේ. ඒ කියන හැම එකම වහල්ලු වගේ කරන් නැතුව විවේචනය කරන්න. දේශපාලන වහල්ලු පිරුණ රටකට උපාධිධාරී වහල්ලු ඕනෙ නෑ. කට්ටිය මේ පාර හොදම කෑමක් ඉල්ල ගත්තෙ. අමාත්‍යාං‍ශයට පැනල දැන් ලොකු බිලකුත් එක්ක නැති ලෙඩක් දාගන්නම කට්ටිය පාර කපල දීලා තියෙන්නෙ.

දැන් දුක හිතෙන කවි කථා දාලා වැඩක් නෑ. මේ ඇත්ත තේරුම් ගන්න. මෙහෙම කරපියව් මේව දීපියව් කියල බුකියට පෝස්ට් දාන්න ඕනෙ ගොනෙකුට පුළුවන්. ඒත් ඒවා ප්‍රායෝගික විදිහට කරන්නෙ කොහොමද කියලත් හිතන්න. සටන් කරන්න කලින් ඔය ඔක්කොම වෙන්න ඕනෙ. නැත්නම් හැමදාම හටං විතරයි. ඒකත් නාලා කාලා හිරෙත් ගිහින් නෙ ඉවරවෙන්න.

මේ රටේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යය වැනි වරප්‍රසාද එපා කියනවා නම් උන් මජර බූරුවන්ය. එහෙම උන් වැඩිය නැත. ඇත්තේ රටටම අතලොස්සකි. උන්ද අදාළම නැත. රටේ මිනිස්සු එපා කියන්නේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යය නොවන බව එසේ හිතන් ඉන්න සමහර අන්තරේ විරුවන් කීප දෙනෙක් සහ උන්ට කඩේ යන උදවිය තේරුම් ගත යුතුය. උන් කළ යුතු අනිත් කරුණ වසරකට විශ්ව විද්‍යාල වරම අහිමි වෙන 80% ක් දෙනා බූරුවන් මෝඩයින් කර තමන් විතරයි පොර කියන හීන මානය පිරුණු කුහකකම අතහැරීමය. මොකද ඒ සෑම දෙයක් හරහා ම නුබලා සමාජය ඉදිරියේ සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාව අපහාසයට ලක් කරනවා පමණක් නොව ඒ ප්‍රජාව වෙත තිබිය යුතු ජනතා ප්‍රසාදයද නැති කරවන්නා වූ නිසාය. අමාත්‍යාංශ භීෂණය විශ්ව විද්‍යාල ප්‍රජාව මහ ජනතාව අතර කොතරම් අප්‍රසාදයට ලක්කරවා ඇත්ද යන්න බලන්නට නම් බුකියෙන් එළියට, රටේ බහුතරය ඉන්න සමාජයට එන්න. සමස්ථය එසේ අප්‍රසාදයට ලක්වීම සිදු නොවිය යුතු අනුමත කළ නොහැකි තත්ත්වයන් බව කණගාටුවෙන් යුතුව පැවසිය යුතුමය.

මිනිසුන් නුඹලා සමඟ සිටගන්නා තුරු මේ විප්ලව දිනන්නට නොහැක.

හිතවත් රාජ්‍ය සහ පුද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් කථා කරන සහෝදර සහෝදරියනි. රටේ නීතියට ගරු කරන්න. මනුස්සකමට ගරු කරන්න. කාට වුණත් හිත් රිදෙන වචන කියන්න කලින් හිතන්න. ඔක්කොටම වැඩිය උපහාසය අපහාසය වෙන්න කලින් නවතින්න.

ස්තූතියි

හිත් රිදවාගැනීම් සදහා වග කියනු නොලැබේ.


‍දෙපැත්ත


සැම දෙයකටම, ගැටළුවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. අප යම් කාරණයක් ගැන මතිමතාන්තර දක්වා පොර වීමට දගලන්නට කලියෙන් ඒ පිළිබඳ සැම විටම සලකා බැලිය යුතුමය.  එල්ලුම් ගහට දක්වන චූදිතයාගෙන් පවා නිදහසට කරණු විමසන්නේ අදාළ සෑම කරුණක්ම නොසලකා හැර සර්ව සාධාරණ තීරණයකට එළඹිය නොහැකි නිසාය.

ඇතැම් අයවලුන්ට අනුන්ගේ ගැටළු වලට හොට නොදා සිටීමට නොහැකි රෝගයක් ඇත. ඔවුන් ඒක පාර්ශවීය කරුණු විමසීම් හරහා ගැටළු වලට විසදුම් සපයන්නේ අඩුම තරමේ එම ගැටළුව ඇති ස්ථානයටවත් යන්නේ නැතුවය.

තත්ත්වය මෙසේ වූ කළ තමන්ගේ පණිවිඩ කරු කියන්නේ ඇත්තක්ද නැද්ද යන්නවත් තහවුරු කර ගැනීමේ හැකියාවක් ඔවුනට නැත. මන්ද ඔවුන් ඇත්ත කියා සිතා සිටින දේ බොරුවක් වන විට, ඒ බොරු මත පදනම්ව ඉහත කී හොට දිග උදවිය ලබා දෙන්නා වූ විසදුම් වලින් පීඩාවට පත් වන්නේ ගැටළුව තුළ සිරවී සිටින අවයලුන්ය. මන්ද ඒ උපදෙස් හරහා තම බොරු සාධාරණීකරනය කර ගන්නා පාර්ශව තවත් හයිය ගෙන දැගලීමට පෙළබෙන නිසාය.

බොරුව ඉතා දරුණුය. කටේ සද්දෙන්, පොළවේ අඩි හප්පා තහවුරු කරන්නට දගලන බොරු ලිපෙන බාපු ගමන් බොහොම සැරය. නමුත් ඒ බොරු වීදුරු මාලිගා ඇතුලේ සිට එළියට ගසන ගල් වැනිය. කවදා හෝ එම මාළිගා බිමට සමතලා වන්නේය.

එසේ සමතලා වූ දිනට බොරුවලට උඩ ගෙඩි දුන් අයට යන එන මං නැති වනු ඇත. බොරුව මිහිරිය. ගැටළුව තමන්ගේ වන තුරු කාගේත් විසදුම් දාර්ශනිකය. බතල කොළේ හිටවන්නේද කටින් නිසා බහින ලබ්බක් ද නැත.
බලා සිටිය යුතුමය සත්‍යය ඉස්මතු වන තෙක්. මොකද බොරුවෙන් හැමදාම දිනන්ට බැරිය

Wednesday, March 1, 2017

ඇත්ත...

ඇත්ත හරිම තිත්තයිලු
හරිම සැරයිලු
කට්ටිය ගොඩක් ඉන්නවලු
එයාල සමාජෙ හැම පැත්තම බලල
මධ්‍යස්ථව කථා කරනවලු
හැබැයි අපි ඇත්ත කථා කරපු දවසට....?
එයාලට මල පැනලලු
ලොවෙත් නෑලු
බැලින්නම් එයාලට සැහෙන්න රිදිලලු
ඇත්ත කීවම මවාගෙන ඉන්න රෙදි ගැලවිලාලු
ඔව්.. හරිම සැරයි
ඇත්ත හරි තිත්තයි
ඇත්තමට...

Wednesday, February 1, 2017

වදින උන්ට වැදියං


උසස් අධ්‍යාපනය යන්න රජයේ හෝ වේවා, පුද්ගලික අංශයේ හෝ වේවා, කුමන ආයතනයක් මඟින් ලබාගත්තද ඒවා පිළිගත් සම්මතයන් සහ ක්‍රමවේදයන් යටතේ ඇගයීමට හැකියාව තිබිය යුතුය. අධ්‍යාපනය යන්න අවතක්සේරු නොකළ යුත්තකි. සියලු දෙනාටම අධ්‍යාපනයට සම අයිතිවාසිකම් තිබිය යුතු අතර එය කාගෙන්වත් උදුරා ගැනීමට කිසිවෙකුට හෝ සදාචාරසම්පන්න අයිතියක් නොමැති බව අවිවාදාත්මකව පිළිගත යුත්තකි.

ඊයේ රට ගිනිගත්තේ සයිටම් නීත්‍යානුකූල බවට ලබා දුන් නඩු තීන්දුව මඟිනි. විවිධ දෙනා විවිධාකර මත පළ කරනු බලා සිටීමෙන් අනතුරුව නොකියාම බැරි කමට මමත් යමක් එකතු කරන්නෙමි.

සයිටම් වසා දැමිය යුතුය යන මතය මම කවදාවත් අනුමත නොකරමි. නමුත් වෛද්‍ය උපාධියක් වැනි සංවේදී විෂයකදී එම උපාධිය අදාළ STANDARDS නැතුව ලබාදීම මමද තරයේ ප්‍රතික්ශේප කරමි. වෛද්‍ය සේවය රටට ලෝකයට සේවය කිරීමට මිස හීන සැබෑ කිරීමට තිබෙන්නක් නොවුනද, රජයේ හෝ පුද්ගලික අංශයේ වෛද්‍ය විද්‍යාව හදාරා සේවයක් කිරීමේ පරම පිවිතුරු චේතනාව කාට කාට වුණත් තියෙන්නේ හරි අඩුවෙන්. ඕව හරි දෙපැත්ත කැපෙන කථා.

කවුද මෙතන නෑවෙ? කවුද තව නාන්නෙ? කාටද හෙටත් නාන්න වෙන්නේ?

අපිමයි. සයිටම් කථාව පැත්තක තියමු. මම සයිටම් එකෙ සිස්ටම් එක අනුමත කරන්නෙ නෑ වගේම අපේ සිසු විරුවන්ගෙ සටන අනුමත කරන්නෙත් නෑ. මොකද පාරෙ කෑ ගහල ප්‍රශ්ණ විසදන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක. දෙගොල්ලමට ඉන්නව මහ පොලොස් කොට්ටෝරු අන්තවාදියො. අන්න ඕකුන්ගෙ අදහස් චේතනා හරි නෑ. රැල්ලට සයිටම් එකට බැන්නට ඒකෙ අවුල මොකද්ද දන්නෙත් නෑ. මම හැමදාම කියනවා වගේ රට වටේට මුහුද. ඔය ඔක්කොම අස්සෙ අර කථාවත් එනව, කුහකකම. ඉතින් අපි ඔය ඔක්කොම එක හැළියෙ දාලා ලිපේ තියල හැදි ගාමු. මොකද මේවා වදින උන්ට වදිනව.

ඇත්තම කථාව මේ රටේ උසස් පෙළ ලියන උන් 70% විතර අනාථ වෙනව. අපේ EDUCATION සිස්ටම් එකේ ප්‍රායෝගික ගැටළු හින්දා. මොකද අලියෙක්ට ගහකට නැගපන් කියලා ඒක බැරිනම් ෆේ්ල් වගේ කථාවක් මෙහෙ තියෙන්නෙ. ඒ කරල උසස් පෙළ කෙළවුණොත් උගේ ජීවිතේම ඉවරයි ලු. ළමයි මුදලට උපාධි හොයන්නෙ ඒකයි. එහෙමයි කියල අධ්‍යාපනය කියන එකේ තත්ත්වය බස්සන්න එක හරි කියන්න කාටවත් අයිතියක් නෑ. ආණ්ඩුවෙ හරි පුද්ගලික හරි, මොකේ වුණත් ස්ටෑන්ඩර්ඩ් තියෙන්න ඕනෙ. අන්න ඒවා තියනවනම් කාටවත් කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනෙ නෑ. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කියන එක ආණ්ඩු මාරු වෙන සැරයක් ගානෙ වෙනස් වෙන එකක්. ඒක එක තැන පල්වෙන්නෙ. රැකියා වෙළඳපොල කියන එක ඉලක්ක කරන සිස්ටම් එකක් මෙහෙ නෑ. හැමදාම එකම කැටගරි ටිකක් එළියට දානව ඇරෙන්න. ඔය අණ්ඩෙ දාන්න පුළුවන් මේ රටේ මහ උන්ටම තමයි. උන් ඒක දානව කියලද? අද රටේ ලෝකෙ ඉස්සරහට යන්න තියන ගොඩක් ක්ෂේත්‍රවලට අදාළ අධ්‍යාපන ක්‍රමවේද අපේ රටේ නෑ. නිකන් හිතන්න සමහර IT Subject ඔක්කොම තියෙන්න ප්‍රයිවට්. ඒවගෙ කරන්නෙ බිස්නස්, ඒව දුවන්න ලාභ ඕනෙ. එතකොට මාර්කටිං කරන්නෙ එස් 3 ට උපාධියක්, එස් 3 ආණ්ඩුවෙ කැම්පස් වලත් මූලික සුදුසකම කියන එක තව එකක්, ඒත් අරව බිස්නස් ට්‍රික්ස්. මේ රටේ ඉන්නව නොකර බැරුවට උසස් පෙළ කරන ළමයි. මොකද අපේ මහ උන් පොඩි කාලෙ ඉදන් ඔළුවට දාන්නේ මොනවද?

සිස්සත්තෙ පාස් වෙයන් (අම්මලගෙ විභාගේ) තෝ නැත්නම් කොහොමද ඉස්කෝලෙකට දාන්නෙ?
ඕ ලෙවල් පාස් වෙයන්, තෝ නැත්නම් උසස් පෙළ කරන්නෙ කොහොමද?
උසස් පෙළ පාස් වෙයන්, තෝ නැත්නම් කොහොමද කැම්පස් යන්නෙ?
කැම්පස් නොගියොත් තෝ කොහොමද ජීවත් වෙන්නෙ?

පින්වතුනි ඔහොම බෑ. ඔය ආකල්ප එක්ක මොකුත් බෑ. උපාධිය කියන්නෙ ජීවිතේම නෙවෙයි. උසස් පෙළ කරන්න ඕනෙ නිසා කරල, එස් 3 ඇති උපාධි ගොඩදාන්න කියල හිතන සෙට් හැදෙන්නෙ ඕව නිසා. ඒ වගේම අන්තිමට ආණ්ඩුවෙ රස්සාවක් කරනව නම් මොකක් හරි උපාධියක් තිබ්බනම් ඇති. මොකද පරිපාලන සේවෙ වුණත් ඒකෙන් ලියන්න පුලුවන්නෙ, මොකාක් හරි උපාධියකට.

දැන් අපේ උන් කෙළගන්නවනෙ, අන්තරේ විතරක් නෙවෙයි. ප්‍රයිවට් උනුත් එක්කම.

ප්‍රයිවට් එකාලා ගැන කියනවනම් සමහරු ඉන්නවා විසි කරන්න සල්ලි. බහුතරේකට ඒක නෑ. ඒ බහුතරෙ රටේ සිස්ටම් එකේ අවුල් අනන් මන්න ඔක්කොටම පින්සිද්ද වෙන්න මොනවා හරි කරල ගොඩ යන්න දගලනව.

කැම්පස් තේරෙන්නෙ පොඩ්ඩයි. ඒක බොහෝම හොද වරප්‍රසාදයක්. එතනත් ඉන්නව බොහොම අහිංසක දුප්පත් ළමයි. සමහර සමාජරෝගියො ඇරුණම

දැන් ඔය දෙකේම ඉන්නව වසවර්ති මාරයො ටිකක්. වස්සප් බ්‍රෝ.........හ් ගාගෙන පාරවල් ගානෙ බෙන්ස් බීඑම්ඩබ්ලිව් වල රගන, එකේක එ්වට ගස් වලින් කඩනව කියල හිතන් දත ගලවන උන්. අන්තරේ ජ්‍යෙශ්ඨ උත්තමයොත් ඉන්නව. තමන්ගෙ ලිංගික අසහනේ යන්න හොද හුප්පද කියල අර පොඩි උන් බය කරල පොලිසියෙන් ගුටි කන්න යවන.

අන්න ඒ පොඩි උනුයි අමාරුවෙන් ප්‍රයිවට් කැම්පස් වලට ගෙවල ඉගෙන ගන්න උනුයි ඉන්නවනේ, සරල සුද්ද සිංහලෙන්ම අලි *කයි අපි තැලෙයි කියන position එකේ උන් ඉන්නෙ. මොකා මොනවා කළත් තැලෙනවා.

දැන් කට්ටිය ෆයිට් කරනවනෙ? මොකටද ෆයිට් කරන්නෙ? සයිටම් වහන්නද? තව රාගමක් හදන්නද? අනිත් උනුත් ගේමට ෆයිට් කරනවා අපේ හීනෙ අපිට දියවු කියල. ඇයි කවුරුවත්, “කවුරුවත්“ අධ්‍යාපනේ තත්ත්වය ගැන කථා කරන් නැත්තෙ බොහොම ටික දෙනෙක් ඇරෙන්න? අපි පාරට බහින්න කලින් අපේ රට ගැන ඉගෙන ගන්න ඕනෙ. මේ රටේ තව අවුරුදු 100කටවත් උසස් පෙළ ලියන හැමෝටම ඇති වෙන්න කැම්පස් හැදෙන් නෑ. ඒවා ඇවිල්ලා දවල් හීන. තියන ප්‍රතිපාදන ටිකත් ආණ්ඩුවෙන් කපාගෙන යද්දි තව ඒවා ජනසතු කරනවා කියන එක ප්‍රායෝගික නෑ. එහෙමයි කියලා ඒවා වහලත් බෑ. හැබැයි සල්ලි ගෙවපු පලියට උපාධි දීලත් බෑ. තත්ත්වය කියන එක අනිවාර්යය දෙයක්. අපේ උන් ඔය සමාජවාද රෙද්ද විසිකරල බැලුවනම් ඕක තේරෙනව. සමාජවාදේ කියන එක ලෝකෙට හදුන්වලා දීපු රටවල් අද ඒකෙන් ඉවත් වෙනව. හැමදාම පාරවල් ගානෙ ගුටිකාලා වැඩකුත් නෑ. සටන් කරන විදිහත් වෙනස් වෙන්න ඕනෙ. මොකද අන්තිමේ ඩොකාලා වෙලා සමහරු චැනල් සෙන්ටර් එකට කාර් එකේ යනවා. අන්තරේ සයිටම් වහන්න කියල පාරෙ ගුටි කනවා. ඕකයි යථාර්තය. සමහරු කෙළින්ම කියනවනේ පස්සෙ එන උන්ටත් කරන්න විප්ලවේ තියන්න ඕනෙ ජොබ් කරද්දි ඔවා බෑ කියල. මම නම් අදටත් දන්නෙ නෑ මග දාල යන්න කරන විප්ලව වලින් ඇති වැඩේ මොකද්ද කියලා.

කවුරු කවුරුත් යථාර්තවාදී වෙන්න ඕනේ. අන්තවාදි වෙලා මේව විසදන්න බෑ. මොකද මේ ප්‍රශ්න ගිරේට අහුවුණ පුවක් ගෙඩි වගේ දෙපැත්තම කැපෙන ඒවා. සිස්ටම් එකේ අවුල් පාරෙ නටල විසදන්න බෑ කාටවත්. Tactics වෙනස් වෙන්න ඕනෙ කාගෙ කාගෙත්.

ආණ්ඩුවේ කැම්පස් එකේ 1st class උපාධි ගත්තට මනුස්සකම, සාමාන්‍ය දැනීම වගේ ඒවා නැති උන්ගෙයි සල්ලි දීල හොරට උපාධි ගන්න උන්ගෙයි කිසිම වෙනසක් නෑ. ඔක්කොම එකයි. දෙගොල්ලම දැන ගන්න ඕනේ. සමහර ප්‍රයිවට් උනුත් අපිට සල්ලි තියනව කියල රගන්න කලින් දැනගන්න ඕනෙ අමාරුවන් සල්ලි හොයාගන්න කොල්ලො කෙල්ලො ඒව බලන් ඉන්නව කියන එක. අන්තරේ උදවියත් ඔච්චර සිසු අයිතිවාසිකම් ගැන කෑ ගහන එකේ දැන ගන්න ඕනෙ අඩුම ගානෙ රැග් වගේ තුප්පහි වැඩ නවත්තල උන්ගෙ මූලික මානව අයිතිවාසිකව් ටිකවත් නැති නොකර ඉන්න.

කන්නංගර මහත්තයාට පින්සිද්ද වෙන්න අපි හැමෝටම නිදහස් අධ්‍යාපනේ කියල එකක් තියනවා. අපි එක වසරෙ ඉදන් ඒක භුක්ති විදිනවා. උසස් පෙළින් පස්සෙත් ඒක ලැබෙන්නෙ කැම්පස් යන ටික දෙනෙක්ට විතරයි. ඒකෙ ලොකු වගකීමක් එනවා, එතනින් හරියට වැඩක් කරන්න. මොකද කැම්පස් යන්නෙ දේශපාලනේ කරන්න නෙවෙයිනෙ, උඹල මල්ලි කැස්ට්‍රෝගේ නම මූණෙ ගහන් යන ගමන් ඇයි කන්නංගර මහත්තයා සමරන් නැත්තෙ ඇයි ඇහුවම ඔය සිසු විරුවෙක් කියපි “කන්නංගර ලිබරල් කාරයෙක්ය, එයා සමරන එක අදේශපාලනිකය“ කියල. සමනලීගෙ අර ගැටේ වගේ. අර ඉස්සරහට තද වෙනව කීවේ. උන් තමයි අර අහිංසක ගමේ කොල්ලො කෙල්ලො බ්‍රේන් වොෂ් කරල පොලීසියෙන් ගුටිකන්න යවන්නෙ. සටන් බිම අද හෙට ගිනි ගන්නව ලු. අදටත් තේරෙන් නෑ ඕක හරියන් නෑ කියලා. අම්මපා නිදහස් අධ්‍යාපනේ වටිනාකම ගැන ප්‍රයිවට් කැම්පස් යන උන් කියල දෙයි ඒක ආරක්ෂා කරන්න කියලා වලි කන උන්ට වැඩිය. අපතයො තැන් දෙකේම ඉන්නව, සයිටම් එකෙ සමහර උන් ඩොකාලා වගේ පේන්නෙ නෑ වගේම තමා අන්තරේ ඉදන් ටීවි එකේ කෑ ගහන සමහර උනුත් එහෙම පේන්නෙ නෑ. ඉස්සෙල්ලත් කීවා වගේ ඕවා දෙපැත්ත කැපෙන සීන්.

නිදහස් අධ්‍යාපන ක්‍රමය අපේ රටේ තිබ්බට ඒක ඒ විදිහට ක්‍රියාත්මක කරන්න අපේ රටේ සම්පත් නෑ. නිදහස් අධ්‍යාපනේ ගැන සටන් කරන උදවිය ඒක තේරුම් ගන්න ඕනෙ අර වෙලාවකට ප්‍රයිවට් කැම්පස් වහපියව් කියල මරලතෝනි දෙන්න කලින්. මොකද අපිත් පව්. හැබැයි ප්‍රයිවට් යන සමහර දත කාරයින්ටත් එහෙමයි කියල නසරානි වැඩ කරන්නත් අයිතියක් නෑ. මොකද රටේ සිස්ටම් එකේ තියන අවුල්වල පවු අහිංසක ළමයි ගෙවන්න ඕනෙ නෑති හින්දා.

අන්තිමේ කියන්න ඕනෙ කවුර කවුරුත් "HAVE LOST THEIR CAUSE" කියන එක. සටනට හේතුව කවුරු කවුරුත් අවුල් කරගෙන ඉවරයි. අදාළ උදවිය තම තමන්ගෙන් හෘද සාක්ෂියෙන් අසා ගත යුත්තේ මෙයයි,

“මේ සටන අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කිරීමටද? නැතිනම් තමන් විතරයි පොර කියා තම තමන්ගේ ලොකු කම, උසස් කම, මහන්තත්තකම පෙන්වීමට පමණක්ද? නැත්නම් අපිට විතරයි අධ්‍යාපනේ ලැබෙන්න ඕනෙ, අනිත් උන මෝඩයො කියන්නද? හිගන්නො කියන්නද? එ්ත් නැතිනම් කාගෙ කාගෙත් කුහක කම විතරක්මද?

ඔය රැල්ලට දෙපැත්තට කඩේ යන දූලා පුතීලට කියන්න ඕනෙ, ඔය කියපු එකට හේතුව තේරුම් ගන්නකන් මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයටම ටෞකණ්ඪ දෙවියන්ගේම පිහිටයි කියන එක විතරයි.

සියලු දෙනාටම අධ්‍යපානය ලැබීමට හිමිකම ඇත. රටේ පවත්නා ප්‍රායෝගික ගැටළු නිසා රටේ බහුතරයකට පුද්ගලික ආයතන හරහා මුදලට අධ්‍යාපනය ලැබීමට සිදුවී ඇත. නමුත් එය මුදලට උපාධිය දෙන අධ්‍යාපනය බාල්දු කරන අධ්‍යාපන කඩයක් වීම සාධාරණ කරුණක් නොවන්නා සේම පුද්ගලික අංශය අකුලාගැනීමට බල කරමින්, වසරකට උසස් පෙල ලියන සිසු සිසුවියන්ගෙන් 70% -80% පමණ ප්‍රමාණයක් පීඩාවට පත් කිරීමද සදාචාරයට පටහැනි බව අදාළ කවුරු කවුරුත් තේරුම් ගත යුතුමය.

අදාළ වදින උන්ට වදින්නට මිස පෞද්ගලික පහර ගැසීමක් නොවන බව සලකන්න

අන්තිමටම කාට කාටත්, මම කිවුවේ රාජ්‍ය සහ පුද්ගලික අංශ දෙකටම,

“අවවාදයට වැඩිය ආදර්ශය උතුම් වේ“

රජයේ විශ්ව විද්‍යාලයේ, පුද්ගලික විශ්ව විද්‍යාලයේ මොකේ ඉගෙන ගත්තත් මනුස්සකම නැති මිනිසුන් වෙත ඇති උපාධිය තවත් එක් කඩදාසි කෑල්ලක් පමණක්ම වනු ඇත.

වදින උන්ට වැදියං