මෙම ලිපිය යතුරු ලියනය
කිරීමට යතුරු පුවරුව අතට ගත මොහොතේ පටන් මා කල්පනා කරමින් සිටියේ කරුණු තුනක්
පිළිබඳවය. ඉන් පළමු කරුණ නම්, මා විසින් මෙය ලිවිය යුතුමද යන්නය. කවර හෙයින්ද යත්,
මෙය කියවන සාතිශය බහුතරයක් සරසවි සිසුන් “මෙන්න ආණ්ඩුවට කඩේ යන නරියෙක්” යනුවෙන්
මා වර්ගීකරණය කරනවාට සැකයක් නැති හෙයිනි. එබැවින් පළමුකොටම සඳහන් කළයුතු, මෙය
කියවන ඔබ විසින් මතක තබා ගතයුතු වැදගත් කරුණක් නම්, මෙය කිසිසේත්ම ආණ්ඩුවට සුදු
හුණු ගෑමේ ව්‍යාපෘතියක් නොවන බවය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
වත්මන් පාලක පක්ෂය, තමා විසින් දිනාගත් විසල් ජනබලය හත් අතේ ගාගෙන ඇති තරම ගැන
කියමින් නාස්ති කරන්නට වෙලාවක් මට නොමැත. එම නිසා මම මෙහිදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවෙමි. දෙවන කරුණ
නම්, මවිසින් මෙහි යොදා ඇති මාතෘකාව මෙම ලිපිය සඳහා කෙතරම් දුරට ගැලපේද යන්නය. මෙය
කියවන පාඨක ඔබ එම වදන් පේළියට අකමැතිනම්, ඔබට අභිමත මාතෘකාවක් ඒ සඳහා යොදා ගැනීමේ
පූර්ණ නිදහස ඔබ සතු වේ. තෙවැන්න නම්, මෙම ලිපිය ලිවීම සඳහා මගේ වෙලාව, යතුරු ලියනය
කිරීම සඳහා මාගේ ශ්‍රමය, සහ මාගේ මෙම ව්‍යායාමය කෙතරම් දුරට පලදායී වේද කියාය.
කොටින්ම මේ ලිපිය පල කිරීමට මෙතරම් කලක් ගතවීමට හේතු වූයේද එයයි. කෙසේ වුවද මුලින්ම මෙම ලිපියේ ශීර්ෂය පිළිබඳ සලකා බලමු. හරකා, හෙවත් "ගොනා" (ඉංගිරිසියෙන් "කව්") යනු ශාක භක්ෂක සත්වයෙකි. ඌ කන්නේ තණකොළය. හීලෑ කළ නොකළ ඕනෑම ගොනෙකු තණකොළ බුදින බව අපි දනිමු. "හීලෑ කල ගොනෙකු කන්නේ මොනවාද, කෙසේද?" යන ප්‍රශ්නය මා ඔබෙන් ඇසුවොත් "දවල්ට ගැට ගහල තියෙන තැන ඉඳන් වටේ තියෙන තණකොළ ටික කනවා. රෑට ගාලට වෙලා දවල් කාපු තණකොළ ටික වමාරා කනවා" යනුවෙන් ඔබ කියනු ඇත. කොටින්ම ඌට දෙන දේ හැරුණු විට වෙන යමක් කෑ නොහැක. දෙන දේ ආහාරයට ගෙන වෙන දී බලාගෙන සිටීම විනා වෙන අන් යමක් ගැන ඌ ප්‍රශ්න කරන්නේද නැත. තමුන්ගේ හාම්පුතා මට්ටු කරන්නට යන්නේද නැත.
කතාවට අවතීර්ණ වෙමින්,
වර්ෂ 2012ක් වූ දෙසැම්බර් මස 30 වන දාතම දරණ ඉරිදා ලංකාදීප පුවත් පතෙහි අටවැනි
පිටුව වෙත ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එහි අඩ පිටුවක් පුරා “නායකත්ව
පුහුණුව ගැන ශිෂ්‍යයන් කියන කතා” යන මැයෙන් පළවූ ලිපිය කියවූ පසු මෙය නොලියාම බැරි
බැව් මට පසක් වූ බවනම් කිවයුතුමය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල අධ්‍යයනාංශයේ
මහාචාර්යවරයෙකුගේ අදහස් වලින් ආරම්භ වී තවත් සිසුන් තිදෙනෙකුගේ අදහස් වලට ඉඩ හසර
ලබා දී තිබුණු එම ලිපියේ බොහෝ සෙයින් කතා බහට ලක්වී තිබුණේ නායකත්ව පුහුණු
වැඩසටහනේ ඇති අඬුලුහුඬුකම් පිළිබඳවය. සාරාංශ වශයෙන් ගත්කල එම ලියුම්කරු සමග අදහස්
දක්වා තිබුණු පිරිසෙයින් බහුතරයකගේ මතය වනුයේ ආණ්ඩුවේ ඇමති හෙන්චයියන්ගේ යටිමඩි
ගැසීම් සහ අනුවණ, අදූරදර්ශී ක්‍රියාපිළිවෙත් නිසා මෙම නායකත්ව පුහුණු වැඩසටහන පුස්සක්
බවට පත්ව ඇති බවටය. එය නම් සහතික ඇත්තක් බව මා විසින් අමුතුවෙන් කියන්නට අවශ්‍ය
නොවේ. අනෙක් හැම එකම නාගත්තාක් මෙන් මෙම වැඩසටහනද ආණ්ඩුව විසින් නාගෙන ඇති බව
මොනවට පැහැදිලි වේ. ආණ්ඩුව මෙය නොවී වෙන කොයි එකක් වුවත් අවසන් ප්‍රථිපලය වනුයේද
මෙයමය. කැලය මාරු වුවද කොටියාගේ පුල්ලි මාරු නොවේ. එපරිද්දෙන්ම ආණ්ඩුව මොන පාට
වුවත් පොලිටික්කා පොලිටික්කාමය. හැම ආණ්ඩුවකම ඉන්නේද,
හැමදාම ආණ්ඩු කරන්නේද එකම කැණහිලුන් රැළය. ඡන්දයකින් වෙනස් කළහැකි එකම දේ ආණ්ඩුවේ
පාට පමණක් යැයි යමෙකු කිවහොත් එය “ඡන්දය” නම් කුලකයේ සියලු අවයව සඳහා සත්‍ය වේ.
කෙසේ නමුදු, එහිදී සිය
අදහස් දක්වා තිබූ ශිෂ්‍යාවක් විසින් සඳහන් කළ කරුණු උපුටා දක්වනු කැමැත්තෙමි.
කොටින්ම කියතොත් මෙම ලිපිය සඳහා මෙලෙස වචන පෙළ ගස්වන්නට මා පෙළඹවූයේද පහතින් උපුටා
දක්වා ඇති සඳහනය. “මේ පුහුණුවේදී ලබාදුන් ඇතැම් පුහුණුවීම් අපට දරාගන්න බැරි වුණා.
උදේට කිලෝමීටර් 3ක් දුවන්න දුන්නා. සමහර ළමයින්ට ඒකට ශාරීරික ශක්තියක් තිබුණේ නෑ.
ළමයි අසනීප වුණා. ඒත් කිසිම විවේකයක් නොදී අපිව එක දිගටම ඒ වගේ යෙදෙව්වා. මට
දණහිස් අමාරුවක් හැදුනා. එය අදටත් තියෙනවා. කැළණිය සරසවියේ ශිෂ්‍යාවකගේ කොන්ද
ඇදවුණු තත්වයක් ඇතිවුණා. ඇය හුඟක් මානසිකව වැටුණා. වැසිකිළි සේදීම වැනි
කාර්යයන් අපට අසීරු වුණා.” යනු ඇයගේ දුක්බර කතාවයි.
ඉහත ඡේදයේ අවසානයෙන්
පටන් ගතහොත්, එහි අවසන් වාක්‍යය ඇයගේ මුවින් පිට කිරීම වෙනුවෙන් ඇයගේ මුවෙහි
මසුරන් හොන්ඩර එකහමාරක් පිරවූවත් මදිය. හමුදා කඳවුරක වාතාවරණය සහ හමුදා කඳවුරක
සිදුකෙරෙන පුහුණු කිරීම් කෙබඳුදැයි මම හොඳාකාරවම දනිමි. මා ඒ පිළිබඳව දන්නේ
කෙසේදැයි කවරෙකුට හෝ ගැටළුවක් ඇත්නම් මාගේ වෘත්තිය ගැන අභිමත ඕනෑම ආකාරයකට සොයා
බැලීමේ පූර්ණ නිදහස ඔහුට හෝ ඇයට ඇත. එමෙන්ම මා දන්නා තරමින් මෙම සිසුන්ට තමන්
පාවිච්චි කරන වැසිකිළි විනා නිළධාරී නිවස්නයේ හෝ බලලත් නිළධාරී සහ සැරයන්වරුන්ගේ
නිවස්නයේ හෝ සෙසු නිලයන් සඳහා වන සයනාගාරවල ඇති වැසිකිළි සෝදන්නට කියා නැත. මොවුන්
හට අසීරු වී ඇත්තේ තමන් විසින් පාවිච්චි කළ වැසිකිළි සේදීමය. තමන් පහරන දේ
පිරිසිදු කරන්නට අකමැති එම වැසිකිලි සේදීම අසීරු වී ඇති මොවුන්, කෙදිනක හෝ ලොකු
පුටුවල අසුන් ගත් පසු තමන් යටතේ සේවය කරන සුළු සේවකයාගේ, කම්කරුවාගේ දුක හඳුනන්නේ
කෙලෙසද? වත්මන් ශ්‍රී ලංකාවට වැදී ඇති හෙණය මෙයයි. මෙවැනි මහන්තත්ත දූපුතුන්
වත්මන් සමාජයේ ඉහළ තනතුරු දැරීමේ ශාපය අද අපි අත්විඳිමින් සිටිමු. නායකත්ව පුහුණුව
යන්නෙහි සැබෑ පරමාර්ථය මෙම උද්ධච්ච ආකල්ප බිඳහෙලීමයි. සරලවම කිවහොත් මෙවන් පුහුණු
සැසි වලට ඔබට සහභාගී වීමට සිදුව ඇත්තේ ඔබ තුල ඇති ඔවැනි නින්දිත ආකල්ප නිසාය.
නැතහොත් පැදුරු කඩමාල්ලේ හා බංකු කොටයේ ඇති දුක, අපහසුව නොදැන රජ පුටුවට යන එකා
වලං කඩයකට පැන්න ගොනෙකුටත් අන්ත නිසාය.
“විනයෝ නාම සාසනස්ස ආයු”
යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ, “Discipline is the crown jewel”යනුවෙන්
ඉංග්‍රීසියෙන් සඳහන් වනුයේ විනය යන්න අන් සෑමදෙයකටම වඩා වැදගත් වන නිසාය. මෙම
නායකත්ව පුහුණුවෙන්ද ලබාදෙන්නට උත්සාහ කරන්නේ මෙකී විනය බව අමුතුවෙන් කිවයුතු
නොවේ. නිහතමානී බව, උපදෙස් පිළිපැදීම, නියෝග වලට කීකරු වීම යන මෙකී සියළුම කාරණා
විනය යන කුලකයෙහි ලා ගැනෙන අවයවයන් වේ. වත්මන් ලංකාවෙහි බොහෝ පුද්ගලයන් සිතා
සිටින්නේ උපාධියක් ලබාගත් පමණින් තමන්ට වඩා කෙරුමන් මේ ලෝකයෙහි නැත, එබැවින් තමන්
යටතේ සිටින සියලු දෙනා තමාගේ අතට පයට බැල මෙහෙවර ඉටුකළ යුතුය කියාය. උපාධිය යනු
අංතට්ටුවක් නොවේ. එබැවින් එය හිමිකරගත් පමණින් අනෙක් අයට අනින්නට යාම සුදුසු නැත.
“මෝරන වී කරල, නැමෙයි රස වැඩිවන කල”
යනුවෙන් ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරමුන් විසින් පබඳින්නට යෙදුනේ, එම පැදිපෙළ හෝඩියේ පන්තියේ සිට
අපට දුන් සෑම සියලු අච්චු පොතකම තෙවැනි පිටුවේ ලොකු අකුරින් මුද්‍රණය කර තිබුණේ
උගතෙකු සතුවිය යුතු අත්‍යාවශ්‍ය ගුණාංගයක් වන නිහතමානී කමෙහි අරුත පහදන්නටය.
කෙදිනක හෝ උගතෙකු වූ පසු උක්ත පැදිපෙලෙහි අරුත පහදනවා වෙනුවට එහි අරුත මත පහරන්නේ උපාධිය
යනු අංතට්ටුවකැයි සිතා සිටින මෙවැනි දුපුතුන්ය. එබැවින්, මෙවැනි කිසියම් ක්‍රියාදාමයක්
ඇසුරින් උක්ත ප්‍රකාශය කරන්නට යෙදුනු දියණිය වැන්නවුන්ගේ මොලවල පිරී සිරවී ඇති
මහන්තත්ත කම නමැති මළකඩ සූරාහැරීම අත්‍යාවශ්‍යයෙන්ම කලයුත්තක්ව තිබේ. මින් පෙර එය
නොකිරීමේ අනිටු පලවිපාක කවරාකාරදැයි වටහාගැනීමට වත්මන් ලංකාවෙහි සිටින උගතුන් යයි
කියාගන්නා උදවිය සමග වචන දහයක් කතාකිරීම පමණක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වේ.
මීළඟ කරුණ නම් මොවුන් හට
කරන්නට සිදුවුනිය කියන ශාරීරික ක්‍රියාකාරකම්ය. ඇයට අනුව දිනකට කිලෝමීටර 3ක්
දුවන්නට සිදුවීම මරණයෙන් කෙලවර වන වැඩකි. එපමණක් නොව, මොවුන් මැරෙන්නට ආසන්න වුවත්
කිසිදු අන්දමක හෝ විවේකයක් දී නොමැත. මට ඇති එකම ගැටළුව නම් අන් කවරක්වත් නොව මේ
කතාකරන දියණිය සැබවින්ම සිංහල ජාතිකද කියාය. අතීතයේ මෙරට සිටි අම්මාවරු සාතිශය
බහුතරයක් අවමය දරුවන් හත අටකට උපත දුන් වීර මාතාවන්ය. ඒ එකදු උපතකදීවත්
සිසේරියන් සැත්කමකින් දරුවා මෙලොවට බිහි කර නොමැතිවීමද විශේෂත්වයකි. ඉන්පසුද
ඔවුන් කවරාකාර හෝ ආබාධයකට ලක්වී නැත. නමුත් මෙම දියණියට වැරදීමකින් හෝ සාමාන්‍ය
දරු ප්‍රසූතියකට මුහුණ දීමට සිදුවුවහොත්, ඇයගේ අහිංසක ස්වාමි පුරුෂයාට සිදුවන්නේ
ගල් ගෙඩියක් ගෙල බැඳගෙන මුහුදට පනින්නටය. කිලෝමීටර තුනක දුරක් හැල්මේ දුවන්නට
බැරි (එසේ දුවන්නට දුන්නා නම්) මේ දුවණිය දරුවන් ප්‍රසූත කරන්නට යන්නේ කෙසේදැයි මට
විශාල ගැටළුවක් පවතී. පොත පතේ සඳහන් වන ගැමි බවලත් උදවියගේ ගෙදර දොරේ, කමතේ හේනේ
වැඩ කිඩ ගැන කියවන ඕනෑම අයෙකුට වත්මන් සමාජයේ ජීවත් වන පුයර බබාලා සහ පුයර ළමාතැනීලා පිළිබඳව ඇතිවනුයේ
සාතිශය සංවේගයක් පමණි.
තවදුරටත් කඳුළු සලන ඇය
පවසන අන්දමට කැළණිය විශ්ව විද්‍යාලයයට තේරුණු එක ශිෂ්‍යාවකගේ කොන්ද ඇද වුනු තත්වයක් ඇති වී තිබේ. මා දන්නා, කියවා,
අසා ඇති අන්දමට උපතින් නොවන බහුතරයක් අංග විකලතාවන්ට ප්‍රධානතම හේතුව වනුයේ වැරදි
ඉරියව් (incorrect posture) පවත්වා ගැනීම
විනා වෙන අන් කවරක්වත් නොවේ. එහිදී කරන්නට සිදුවුනැයි කියන ශාරීරික ක්‍රියාකාරකම්
නිසා ආබාධ ඇතිවීනම් එයට සහභාගී වූ සියල්ලන්ටම එබඳු තත්වයන් ඇති විය යුතුය. අඩුම
වශයෙන් පස් හය දෙනෙක්වත් “නායකත්ව පුහුණුවට ගිහින් මගේ කොන්ද ඇද වුණා” යයි කීවොත්
ඔය කතාව යම්තාක් දුරකට හෝ පිළිගත හැක. නංගි මල්ලි, මේ ඔබට කතාකරන මම ඔබට වඩා වසර
තුනක් හෝ හතරක් වයසින් වැඩිමහල් අයෙක්මි. මාගේ ශරීර සුවතාවය පවත්වා ගැනීමේ අරමුණින් මම දිනපතා උදෑසන මීටර 400 ධාවන පථයේ වට 10ක් හෝ 12ක් මිනිත්තු 20ක කාලයක් තුල ධාවනයේ යෙදෙමි. එපමණක් නොව අවම වශයෙන් පැයක කාලයක් ව්‍යායාමයේ යෙදෙමි. කිසියම් දුරක් හැල්මේ දුවන්නට කියූ විට,
ව්‍යායාම කරන්නට කියූ විට ඔබ “කෙඳිරි ගාන්නේනම්”අවංකවම ඔබගේ ශාරීරික යෝග්‍යතාව
පිළිබඳ ඔබ ලජ්ජා විය යුතුව ඇත. එපමණකුදු නොව වැඩිකල් නොගොස්ම, කොළඹ හතේ නිදහස්
චතුරස්‍රය අවට ආදී ස්ථානවල නිර්මාණය කල “jogging paths” දිගේ ඇවිදින, ට්‍රැක් කිට්
ඇඳගත් ස්පෝර්ට්ස් ෂූස් දමාගත් “ඇවිදින පීප්ප” වැනි මිනිසුන්ගේ ගැහැණුන්ගේ ගොඩට
ඔබටත් එක්විය හැකි බවටද මට සහතික විය හැක. මෙතුවක් කලක් ලංකාවේ නොතිබුණු මළවිකාර
jogging සංස්කෘතියක් ඇතිවීමට වගකිව යුතු වන්නේ ඔබ වැනි බිව් මව්කිරට නිගාදෙන
නිකමුන් බව කණගාටුවෙන් වුවත් කිව යුතුය. jogging කලාට කමක් නැත. නමුත් jogging
කරන්නට, හරි හැටි ඇවිදගන්නටවත් බැරි පීප්පයක් වෙනතුරුම සිටිය යුතු නැත. අනික් අතට
වයස අවුරුදු විස්සේදී දුවන්නට බැරි එකා හතළිහක් වූ පසු jogging කරන්නට යාම මහා
විකාරයකි.
මේ කියන මමද, හමුදා
පුහුණුව නොඅඩුවම ලද අයෙක් වෙමි. මගේ රැකියාව පිළිබඳව මෙහි සටහන් කිරීමට මා උත්සුක
නොවනුයේ එය කයිවාරු ගැසීමක්, නැතහොත් “පොර ටෝක් දීමක්” වන බැවිනි. නමුත් පුහුණුව
අතරතුර විවිධාකාර ශාරීරික ක්‍රියාකාරකම් රැසකට මමද මුහුණ දී ඇත්තෙමි. මා ඇතුළු
තවත් පුහුණුවන්නන් සියයකට අධික පිරිසක් මා සමග පුහුණුවෙහි යෙදුනි. දේව පිහිටෙන්
අපෙන් එකෙකුටවත් ඔය කියන කෙළවරක් නැති “අමාරු” වැලඳුනේ නම් නැත. එපමණකුදු නොව එම
සෑම ක්‍රියාකාරකමක්ම කිරීමට පළමු අපෙන් ඇසු එකම පැනය “physically unfit කියල හිතෙන කවුරුහරි ඉන්නවද?” කියාය. ඒ කිසියම් අයෙකු කවර හෝ
ශාරීරික අපහසුවකින් පෙළේ නම් ඔහුට හෝ ඇයට එයින් වැළකී සිටීමේ අවකාශ ලබා දීමටය. එම
නිසා, සන්නද්ධ හමුදාවක නිත්‍ය සේනාවට බඳවාගෙන පුහුණු කල අපවවත් “බලෙන් නොදිවවූ”
රටක “අපිව බලෙන් දිවෙව්වා” යැයි නායකත්ව පුහුණුවට සහභාගී වූ කවරෙකු හෝ කියතොත්
ඔහු හෝ ඇය කියනුයේ ගල් පැලෙන බොරුවක් බවට මම සහතික වෙමි. ඒ හැරත් නායකත්ව පුහුණුව
තුලදී මොවුන්ට මුහුණ දීමට සිදුවිනැයි කියන ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණාත්මකව
ගතහොත්, යුද හමුදා පුහුණුවෙන් අරික්කාලකිනුත් අරික්කාලකි. විශේෂ බලකා සෙබලෙකු
මුහුණ දෙන පුහුණුවෙන් නම් දහසකින් පංගුවකි. මොවුන්ට අමතකව ගිය වැදගත්ම කරුණ වනුයේ,
“සන්නද්ධ හමුදාව තුළ එම පූර්ණ සටන් පුහුණුව ලබනුයේද මව් කුසින් මෙලොව එලිය
දුටු, මව් කිරෙන් පන්නරය ලද හෙළ බිමේ සුජාත පුතුන් හා දියණියන්ය” යන්නය. පෙර
කී කතාව කියූ දියණිය පරිද්දෙන් ත්‍රිවිධ හමුදාවේ සාමාජික සාමාජිකාවන්ද තම
පුහුණුවේදී නාහෙන් ඇඬුවේ නම් මේ වන විට කොටි සංවිධානයේ නපුංසකයන් රට පුරා පිනුම්
ගසනවා නොඅනුමානය.
මේ සියලු කතන්දර මධ්‍යයේ කිවයුතු වැදගත්ම කරුණ
නම්, මගේ ළඟම මිතුරියකද මීට මාස කිහිපයකට පෙර මෙම නායකත්ව පුහුණුව සඳහා සහභාගී වූ
බවය.පුහුණුව අවසන්ව යළි පැමිණි ඇය මා සමග කිව්වේ “කට්ටියට ට්‍රේනින් ඉවර වෙලා ආපහු
යන්න ලෑස්ති වෙද්දී මාර අප්සට් අයියේ” කියාය. එම වැකියෙන් පැහැදිලි වන්නේ
කුමක්දැයි වටහා ගැනීම පාඨක ඔබටම භාර කරමි. අවසන් වශයෙන් කනාගාටුවෙන් වුවත් කිව
යුතුව ඇත්තේ, “මේ පුහුණුවේදී ලබාදුන් ඇතැම් පුහුණුවීම් අපට දරාගන්න බැරි වුණා.
උදේට කිලෝමීටර් 3ක් දුවන්න දුන්නා. සමහර ළමයින්ට ඒකට ශාරීරික ශක්තියක් තිබුණේ නෑ.
ළමයි අසනීප වුණා. ඒත් කිසිම විවේකයක් නොදී අපිව එක දිගටම ඒ වගේ යෙදෙව්වා. මට දණහිස්
අමාරුවක් හැදුනා. එය අදටත් තියෙනවා. කැළණිය සරසවියේ ශිෂ්‍යාවකගේ කොන්ද ඇදවුණු
තත්වයක් ඇතිවුණා. ඇය හුඟක් මානසිකව වැටුණා. වැසිකිළි සේදීම වැනි කාර්යයන් අපට
අසීරු වුණා.” සහ මෙයාකාර වෙනත් කතා “උපන් බිමට වැදූ මවට ණයගැති, නිහීන,
නිකමුන්ගේ කතා” බවය. හෙළ බිමේ හෙළ මව්කුසකින් මෙලොව එලිය දුටු, මව්කිරෙන්
පන්නරය ලද හෙළ දුවාදරුවන්ගේ මුවින් ඉහත ආකාරයේ වචන කිසිදා පිට නොවන බව මම
හොඳාකාරවම දනිමි. අවංකවම මාගේ මෙම ලිපියෙහි මවිසින් යොදා ඇති භාෂා ව්‍යවහාරය ගැන
මම කණගාටු වෙමි. නමුත් මීට වඩා සුභාෂිතව මෙම කරුණු ඒත්තු ගන්වන්නට සුදුසු වචන මම
නොදනිමි. කෙසේවුවද ඔබ හෙළ බිමේ සුජාත පුතෙක්/දියණියක්ද නැතහොත් උපන් බිමට වැදූ
මවට ණයගැති, නිහීන නිකමුන්ගේ ගණයට අයත්තෙක්ද යන්න තීරණය කිරීම ඔබ සතුය. මතක
තබාගතයුතු කරුණ වන්නේ ඔබ කතාකරන වචනවලින් සහ ඔබ දක්වන අදහස් වලින්, ඔබ අයත් කවර
කුලකයටද යන්න අන්‍යන්ට වටහාගත හැකි බවය. අවසන් වශයෙන් කිව යුතු යමක් ඇත. එනම් ඔබ මෙය මුල සිට නිවැරදිව වටහාගත්තේ නම් මෙම ලිපියේ අන්තර්ගතය සමගින් මාතෘකාව ගැලපීම ඔබට අපහසු නොවනු ඇත.