මහමෙව්නාවට සිල් වැසි වසිනව... හැම මාසයකම පොහෝ දිනේ... ගමේ විහාරෙට වැහි බිඳුවක් නෑ... වෙනසක් ඇයි බුදු පියාණෙනි... |
මුලින්ම මේ බුද්ධාගමට හෝ කිසිවෙක් හට අපහාස කිරීමට ගන්නා ප්රයත්නයක් නොවන බව සඳහන් කළ යුතුයි. යම් කිසිවෙක් මේ පිළිබඳව එසේ සිතන්නේ නම් ඔහු හෝ ඇය මෙතනින් ඉදිරියට මෙම ලිපිය කියවීමෙන් වළකින්නේ නම් වඩාත් සුදුසු
වනු ඇත.
මමද බෞද්ධයෙකු වෙමි.
ලංකාවේ මිනිසුන් සතුව ඇත්තේ අමුතු අමුතු ආකල්පයන්ය. මම මහමෙව්නාව අසපුව ගැන මුලින්ම ඇසුවේ පාසල් යන අවධියේදීය (මේ මහමෙව්නාව විවේචනය කිරීමක් නොවේ). ඉන්පසුව මා හට කොළඹ දිස්ත්‍රික්කයට යාමට සිදුවිය. එහිදී මා ඇසූ දුටු බොහොමයක් දේ නිසා අපේ මිනිසුන්ගේ ආකල්ප ගැන අදටත් මට ඇත්තේ අවංකවම කළකිරීමකි. බහුතරයක් මහමෙව්නා අනුගාමිකයින් දකින සෑම අවස්ථාවකදීම මගේ හිතට ඇති වන්නේ එකම පැණයකි. එනම් මහමෙව්නාවට මල් පූජා කිරීමෙන් Bonus පින් ලැබෙනවාද යන්නයි.
මිනිසුන් ඇයි ගමේ පන්සලට නොයන්නේ? ඇයි ගමක් හැටියට එකතු වෙලා පන්සල දියුණු කරන්නේ නැත්තේ? පන්සලේ දියුණුව කියන්නේ ගමේ දියුණුව, ගම් දියුණු වෙනවා කියන්නේ රටේ දියුණුව. ගමේ පන්සලේ නොලැබෙන මහවෙම්නාවේ ඇති සුවය කුමක්ද යන්න පිළිබඳව මා සතුව ඇත්තේ පිළිතුරක් නැති පැනයකි. ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා වරක් ප්‍රකාශ කර සිටියේ 2050 වන වට ලොව ශක්තිමත්ව පවතින එකම ආගම වන්නේ බුදු දහම බවය. ඒ බුදු දහම ගොඩ නැගී ඇත්තේ ශක්තිමත් පැහැදිලි දර්ශනයක් මත වන බැවිනි. එය සත්‍යයකි. එසේ නම් බෞද්ධයන් වන අපි මෙසේ දැක්මක් නොමැති මිනිසුන් ලෙස හැසිරය යුතුද? ඒ කරුණ පිළිබඳව මම පහතින් විස්තර කරන්නම්.
මම වරක් එක්තරා ලිපියක් දුටුවෙමි. එම ලිපියේ ඇතුළත් වී තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉතා දුෂ්කරව පවත්වාගෙන යනු ලබන පන්සලක් පිළිබඳවය. එම ලිපිය තුළ එම ගරා වැටුණු පන්සල ගැනත් එහි වැඩවසන වියපත් හිමි නමක් සහ තවත් තරුණ හිමි නමක් පිළිබඳවත් පන්සල අවට වෙසෙන දුප්පත් මිනිසුන් පිළිබඳවත් විස්තර කර තිබුණි. සැතපුම් ගණන් දුර දනට වඩින මෙම හිමිවරු තමන්ට ලැබෙන දේ වළදන්නේ වටාපිටාවේ සිටින මිනිසුන් හටත් යමක් බෙදා දුන් පසුවය. වඩාත් දුක සිතෙන කරුණ නම් මෙම හිමිවරු තමන්ට ලැබෙන රුපියල දෙක එකතු කර වරින් වර අධ්‍යාපන අරමුදලකට පරිත්‍යාග කිරීමට තරම් නිහතමානව තම සිල් රකිමින් කටයුතු කිරීමය. සැප පහසුව ඇති පන්සලක් වෙත යාමට අවස්ථාව තිබියදී මෙම හිමිවරු මෙම ස්ථානයේම වැඩ වාසය කරන්නේ මෙම අහිංසක මිනිසුන් කෙරෙහි ඇති අප්‍රමාණ කරුණාව නිසාමය. සැබෑ බුදු පුතුන් වන්නේ මෙවැනි හිමි වරුන්ය. කොළඹ සුපිරි පැලැන්තියේ විහාර ගෙවල් තුළ වෙසෙන්නන් නොවේ.
වරක් මහමෙව්නාවේ කුමක් හෝ ඉදිකිරීම් කටයුත්තකට ගඩොල් කැට දෙකක් ගිහින් දුන් ඉහළ පැලැන්තයේ පුද්ගලයෙක් ඒ පිළිබඳව උදම් අනනු ඇසූවෙමි. ඒ පුද්ගලයා නැති බැරි අයෙක් නම් මම ඒ ගැන මෙහි සඳහන් නොකරමි. නමුත් පැනය නම් මෙයයි. නැති බැරි අයෙකුට විළි වසා ගන්නට රෙදි කෑල්ලක් දීම, බඩගින්නට බත් පතක් දීම, ලෙඩෙකුට උපස්ථාන කිරීම (බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ගිලානෝපස්ථානය තමන් වහන්සේ වෙත කරන්නා වූ උවැටනක් ලෙසටය).. මෙම ඉහත සඳහන් කළ ක්‍රියාවක් කිරීමෙන් ලැබෙන්නේ පිනක් නොවේද? පින ලැබෙන්නේ සුපිරි පැලැන්තියේ පන්සලකට POSH විදියට වන්දනා කිරීමෙන්ද? Prado එකේ ගිහින් බිමට බැහැල සුවඳ ගහගෙන වදින්නට යන ඉතා අලංකාර පොහොසත් විහාර ගෙය තුළ වැඩ සිටින බුදු හිමියන් සහ ගමේ පන්සලේ දිරාපත් වී ගරා වැටුණු විහාර ගෙය තුළ අව්ව වැස්ස මැද නොසැලී වැඩ සිටින බුදු හිමියන් සතුව වන කරුණා ගුණයේ වෙනසක් තිබේද? අසන්න මදක්, ඔබගේම හෘද සාක්ෂියෙන්. වඩා වටින්නේ සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කරමින් හරයක් නැති POSH විදියට වන්දනා කිරීමද හිතට එකඟව බුදුන් ගිය මඟ තේරුම් ගෙන බුදු පිළිවෙත් අනුගමනය කිරීමද?
ඔබ සොයන්නේ සසර සුවය නම්, ඔබට එම සුවය ඔබ නිවස තුළ පුංචි බුදු කුටියක් තුළ වැඩ සිටින සමාධි බුදු පිළිම වහන්සේ ළගත් දැනෙනු ඇති. ගමේ පුංචි පන්සලේ නිහඩව වැජබෙන බෝ සමිඳු ළගත් දැනෙනු ඇති. ඒ පන්සලේ වැඩසිටින වියපත් හිමිනම සහ පුංචි හාමුදුරු පැටවු තුළ බුදු පුතුන් සහ දියණියන් දකින්නට ලැබෙනු ඇති. පන්සලේ විහාර ගෙය තුළ වැඩ සිටින ඒ මහා ශ්‍රේෂ්ඨ වූ බුදු පියාණන් වහන්සේ ළඟින් ඒ අපිරිමත වූ කරුණාව, දයාව, මෛත්‍රිය සුවඳ දැනෙනු ඇති. පිරිසුදු බෝ මළුවේ පයට පෑගෙන වැලි කැටයක් ගානේ, දැල්වෙන පහන්, බුදු හිමිට පිදූ මල් සහ හඳුන් කූරු මඟින් නැගෙන සුවඳ පොදක් ගානේ බෞද්ධයෙකුට පමණක් (බුදුදහම තේරුම් ගත්තෙකුට) අත්විදිය හැකි ඒ සාමකාමී මානසික සුවය මට මෙන්ම ඔබටත් අනිවාර්යයෙන්ම දැනෙනු ඇති. තරුපහේ පන්සල තුළ ලැබෙන්නේත් එම සුවයම මිසක් ඊට වැඩි යමක් නොවේ. එකම වෙනස වනුයේ සුපිරි දායකයන් තුළ දක්නට ඇති මවා පෑම ගමේ පන්සලට එන ඉංග්‍රීසි වචනයක් බැරි දුප්පතා තුළ වත් එම මිනිසුන් කෙරෙහි උපන් දයාවෙන් එම පන්සල තුළ වැඩ සිටින හාමුදුරුවරුන් තුළ වත් දක්නට නොළැබීමය.
නමුත් කොළඹ සුපිරි පන්සලේ ඔබ අත් නොවිදින්නා වූ
සුවයක් ගමේ පන්සල තුළ ඔබ අත්වදිනු ඇති.
බෞද්ධයෙකු ලෙස මේ කරුණ තේරුම් ගන්න. ආගම දහම
රැකගෙන අපේ උරුමය රැක ගන්න. මවා පෑම් වලට නොරැවටී බුදු දහමේ හරය තේරුම් ගන්න. පුහු
මායාවල් ඔස්සේ නොව, හිතට එකඟව සත්‍යය හබා යන්න.
මහමෙව්නාවට සිල් වැසි වසිනව...හැම මාසයකම පොහෝ දිනේ...ගමේ විහාරෙට වැහි බිඳුවක් නෑ...වෙනසක් ඇයි බුදු පියාණෙනි...
නැවතත් කියන්නම් කාටවත් මඩ ගැසීමේ උවමනාවක් මා
සතුව නොවන බව. ළගදීම තවත් ලිපියකින් නැවත හමුවෙමු.
Shadow Warrior - Fight for the truth that you believe in, even if you are standing alone against the tide
Tweet