Thursday, December 27, 2012

වෙනසක් ඇයි බුදු පියාණෙනි...


මහමෙව්නාවට සිල් වැසි වසිනව... හැම මාසයකම පොහෝ දිනේ... ගමේ විහාරෙට වැහි බිඳුවක් නෑ... වෙනසක් ඇයි බුදු පියාණෙනි...


මුලින්ම මේ බුද්ධාගමට හෝ කිසිවෙක් හට අපහාස කිරීමට ගන්නා ප්‍රයත්නයක් නොවන බව සඳහන් කළ යුතුයි. යම් කිසිවෙක් මේ පිළිබඳව එසේ සිතන්නේ නම් ඔහු හෝ ඇය මෙතනින් ඉදිරියට මෙම ලිපිය කියවීමෙන් වළකින්නේ නම් වඩාත් සුදුසු වනු ඇත. 

මමද බෞද්ධයෙකු වෙමි. 

ලංකාවේ මිනිසුන් සතුව ඇත්තේ අමුතු අමුතු ආකල්පයන්ය. මම මහමෙව්නාව අසපුව ගැන මුලින්ම ඇසුවේ පාසල් යන අවධියේදීය (මේ මහමෙව්නාව විවේචනය කිරීමක් නොවේ). ඉන්පසුව මා හට කොළඹ දිස්ත්‍රික්කයට යාමට සිදුවිය. එහිදී මා ඇසූ දුටු බොහොමයක් දේ නිසා අපේ මිනිසුන්ගේ ආකල්ප ගැන අදටත් මට ඇත්තේ අවංකවම කළකිරීමකි. බහුතරයක් මහමෙව්නා අනුගාමිකයින් දකින සෑම අවස්ථාවකදීම මගේ හිතට ඇති වන්නේ එකම පැණයකි. එනම් මහමෙව්නාවට මල් පූජා කිරීමෙන් Bonus පින් ලැබෙනවාද යන්නයි.

මිනිසුන‍් ඇයි ගමේ පන්සලට නොයන්නේ? ඇයි ගමක් හැටියට එකතු වෙලා පන්සල දියුණු කරන්නේ නැත්තේ? පන්සලේ දියුණුව කියන්නේ ගමේ දියුණුව, ගම් දියුණු වෙනවා කියන්නේ රටේ දියුණුව. ගමේ පන්සලේ නොලැබෙන මහවෙම්නාවේ ඇති සුවය කුමක්ද යන්න පිළිබඳව මා සතුව ඇත්තේ පිළිතුරක් නැති පැනයකි. ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා වරක් ප්‍රකාශ කර සිටියේ 2050 වන වට ලොව ශක්තිමත්ව පවතින එකම ආගම වන්නේ බුදු දහම බවය. ඒ බුදු දහම ගොඩ නැගී ඇත්තේ ශක්තිමත් පැහැදිලි දර්ශනයක් මත වන බැවිනි. එය සත්‍යයකි. එසේ නම් බෞද්ධයන් වන අපි මෙසේ දැක්මක් නොමැති මිනිසුන් ලෙස හැසිරය යුතුද? ඒ කරුණ පිළිබඳව මම පහතින් විස්තර කරන්නම්.

මම වරක් එක්තරා ලිපියක් දුටුවෙමි. එම ලිපියේ ඇතුළත් වී තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉතා දුෂ්කරව පවත්වාගෙන යනු ලබන පන්සලක් පිළිබඳවය. එම ලිපිය තුළ එම ගරා වැටුණු පන්සල ගැනත් එහි වැඩවසන වියපත් හිමි නමක් සහ තවත් තරුණ හිමි නමක් පිළිබඳවත් පන්සල අවට වෙසෙන දුප්පත් මිනිසුන් පිළිබඳවත් විස්තර කර තිබුණි. සැතපුම් ගණන් දුර දනට වඩින මෙම හිමිවරු තමන්ට ලැබෙන දේ වළදන්නේ වටාපිටාවේ සිටින මිනිසුන් හටත් යමක් බෙදා දුන් පසුවය. වඩාත් දුක සිතෙන කරුණ නම් මෙම හිමිවරු තමන්ට ලැබෙන රුපියල දෙක එකතු කර වරින් වර අධ්‍යාපන අරමුදලකට පරිත්‍යාග කිරීමට තරම් නිහතමානව තම සිල් රකිමින් කටයුතු කිරීමය. සැප පහසුව ඇති පන්සලක් වෙත යාමට අවස්ථාව තිබියදී මෙම හිමිවරු මෙම ස්ථානයේම වැඩ වාසය කරන්නේ මෙම අහිංසක මිනිසුන් කෙරෙහි ඇති අප්‍රමාණ කරුණාව නිසාමය. සැබෑ බුදු පුතුන් වන්නේ මෙවැනි හිමි වරුන්ය. කොළඹ සුපිරි පැලැන්තියේ විහාර ගෙවල් තුළ වෙසෙන්න‍න් නොවේ.

වරක් මහමෙව්නාවේ කුමක් හෝ ඉදිකිරීම් කටයුත්තකට ගඩොල් කැට දෙකක් ගිහින් දුන් ඉහළ පැලැන්තයේ පුද්ගලයෙක් ඒ පිළිබඳව උදම් අනනු ඇසූවෙමි. ඒ පුද්ගලයා නැති බැරි අයෙක් නම් මම ඒ ගැන මෙහි සඳහන් නොකරමි. නමුත් පැනය නම් මෙයයි. නැති බැරි අයෙකුට විළි වසා ගන්නට රෙදි කෑල්ලක් දීම, බඩගින්නට බත් පතක් දීම, ලෙඩෙකුට උපස්ථාන කිරීම (බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ගිලානෝපස්ථානය තමන් වහන්සේ වෙත කරන්නා වූ උවැටනක් ලෙසටය).. මෙම ඉහත සඳහන් කළ ක්‍රියාවක් කිරීමෙන් ලැබෙන්නේ පිනක් නොවේද? පින ලැබෙන්නේ සුපිරි පැලැන්තියේ පන්සලකට POSH විදියට වන්දනා කිරීමෙන්ද? Prado එකේ ගිහින් බිමට බැහැල සුවඳ ගහගෙන වදින්නට යන ඉතා අලංකාර පොහොසත් විහාර ගෙය තුළ වැඩ සිටින බුදු හිමියන් සහ ගමේ පන්සලේ දිරාපත් වී ගරා වැටුණු විහාර ගෙය තුළ අව්ව වැස්ස මැද නොසැලී වැඩ සිටින බුදු හිමියන් සතුව වන කරුණා ගුණයේ වෙනසක් තිබේද? අසන්න මදක්, ඔබගේම හෘද සාක්ෂියෙන්. වඩා වටින්නේ සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කරමින් හරයක් නැති
POSH විදියට වන්දනා කිරීමද හිතට එකඟව බුදුන් ගිය මඟ තේරුම් ගෙන බුදු පිළිවෙත් අනුගමනය කිරීමද?

 ඔබ සොයන්නේ සසර සුවය නම්, ඔබට එම සුවය ඔබ නිවස තුළ පුංචි බුදු කුටියක් තුළ වැඩ සිටින සමාධි බුදු පිළිම වහන්සේ ළගත් දැනෙනු ඇති. ගමේ පුංචි පන්සලේ නිහඩව වැජබෙන බෝ සමිඳු ළගත් දැනෙනු ඇති. ඒ පන්සලේ වැඩසිටින වියපත් හිමිනම සහ පුංචි හාමුදුරු පැටවු තුළ බුදු පුතුන් සහ දියණියන් දකින්නට ලැබෙනු ඇති. පන්සලේ විහාර ගෙය තුළ වැඩ සිටින ඒ මහා ශ්‍රේෂ්ඨ වූ බුදු පියාණන් වහන්සේ ළඟින් ඒ අපිරිමත වූ කරුණාව, දයාව, මෛත්‍රිය සුවඳ දැනෙනු ඇති. පිරිසුදු බෝ මළුවේ පයට පෑගෙන වැලි කැටයක් ගානේ, දැල්වෙන පහන්, බුදු හිමිට පිදූ මල් සහ හඳුන් කූරු මඟින් නැගෙන සුවඳ පොදක් ගානේ බෞද්ධයෙකුට පමණක් (බුදුදහම තේරුම් ගත්තෙකුට) අත්විදිය හැකි ඒ සාමකාමී මානසික සුවය මට මෙන්ම ඔබටත් අනිවාර්යයෙන්ම දැනෙනු ඇති. තරුපහේ පන්සල තුළ ලැබෙන්නේත් එම සුවයම මිසක් ඊට වැඩි යමක් නොවේ. එකම වෙනස වනුයේ සුපිරි දායකයන් තුළ දක්නට ඇති මවා පෑම ගමේ පන්සලට එන ඉංග්‍රීසි වචනයක් බැරි දුප්පතා තුළ වත් එම මිනිසුන් කෙරෙහි උපන් දයාවෙන් එම පන්සල තුළ වැඩ සිටින හාමුදුරුවරුන් තුළ වත් දක්නට නොළැබීමය. 

නමුත් කොළඹ සුපිරි පන්සලේ ඔබ අත් නොවිදින්නා වූ සුවයක් ගමේ පන්සල තුළ ඔබ අත්වදිනු ඇති.

බෞද්ධයෙකු ලෙස මේ කරුණ තේරුම් ගන්න. ආගම දහම රැකගෙන අපේ උරුමය රැක ගන්න. මවා පෑම් වලට නොරැවටී බුදු දහමේ හරය තේරුම් ගන්න. පුහු මායාවල් ඔස්සේ නොව, හිතට එකඟව සත්‍යය හබා යන්න.


මහමෙව්නාවට සිල් වැසි වසිනව... 
හැම මාසයකම පොහෝ දිනේ... 
ගමේ විහාරෙට වැහි බිඳුවක් නෑ... 
වෙනසක් ඇයි බුදු පියාණෙනි...


නැවතත් කියන්නම් කාටවත් මඩ ගැසීමේ උවමනාවක් මා සතුව නොවන බව. ළගදීම තවත් ලිපියකින් නැවත හමුවෙමු.


 Shadow Warrior - Fight for the truth that you believe in, even if you are standing alone against the tide








Tuesday, December 18, 2012

- හිස්තැන -


කියන්නට ඇති
කියාලන්නට වදන් නැති
හිත රැදුණු සිතිවිලි
සඟවන්න කෙලෙස යළි

අරමුණක් නොමැති නම්
ඉරනමත් කුරිරු නම්
යන මඟක් නොමැති දින
මංමුලා වනු කෙසේ

අඳුර පමණක්ය
මට මඟේ මුළු ලොවම
හිස්බවක් පමණක්ද
මගේ මැයි කියා හිමි

 Shadow Warrior - Fight for the truth that you believe in, even if you are standing alone against the tide





Wednesday, November 28, 2012

මගහැර යා නොහැකි, කර්ම

කර්ම පිලිබඳ කිව යුතු බොහෝ දෑ මේ වනවිටත් මෙම බ්ලොගයෙන්ම කියා අවසන්ය. එසේ වුවද මමද මගේ හිතේ ඇතිදේ මෙසේ කීමට බලාපොරොත්තු වෙමි.

කර්ම නැරඹීමට ගියේ මීට දින දෙකකට ඉහතදී ය. දින දෙකකට පෙර නැරඹුවද ඉන් පසු එය සිත තුල හොල්මන් කිරීම නම් තවමත් නතර වී නැත.

කර්ම ගැන වෙන කිසිම දෙයක් කියන්නට කලින් මම සියල්ලගෙන්ම ඉල්ලන එක ඉල්ලීමක් තිබේ. එනම්, දෙයියන්ගේ නාමෙට මේක දිහා නිල් චිත්‍රපටයක් විදිහට බලන්න එපා. මේ ලිපිය නිල් ලිපියක් විදිහට කියවන්නත් එපා. මේක වැලක් නෙවෙයි. යථාර්ථවාදීව කතාකරන වැදගත් චිත්‍රපටියක් ගැන කෙරෙන ආවර්ජනයක් සහ තාර්කික අදහස් දැක්වීමක්. නිල් පාට කෑල්ලක් හරි ඔබේ හිතේ තියෙනවානම් පින් සිද්දවෙයි මෙතනින් එහාට මේක කියවන්න එපා.

ඉහත චේදය ලිවීමට සිදුවීම පිළිබඳව මා ඇත්තෙන්ම කණගාටු වෙමි. එහෙත් සාක්ෂරතාවය සියයට අනූ නවයක් ඇතැයි කියන අපේ රටේ බුද්ධිමත් මිනිසුන්ට මෙය කිව යුතුමය.




කර්ම! පරිච්ඡේද හතරකට කඩා ඉදිරිපත් කරන කතාවකි. එහෙත් එම කතාව මුල මැද අග හොඳින් පටලවා ඇත. එකම රොටියක් වූ කතාව සිහින්ව ලියා කැරට් ලීක්ස් ළූණු හොඳින් කලවම්කර රන්වන් පැහැය පසුකර කළු අඟුරු පැහැය වනතෙක් ම බැද කරකර තිත්ත කොත්තුවක් ලෙස ඉදිරිපත් කර ඇත. කොත්තුව ඔබට ලැබෙන්නේ පිඟන් හතරකට දමා ය. ඒ ඔබ රස විඳින හෝ රස විඳවන පරිච්ඡේද හතරයි. හොදි හෝ සෝස් නැත.

මුළු චිත්‍රපටයම දිවෙන්නේ චරිත තුනක් වටාය. ඇත්තේ චරිත තුනක් වුවත් එම චරිත තුන මුළු ලොවක්ම එකවර පෙන්වීමට තරම් ප්‍රබල ඒවාය.

පියල්:
තමමවගේ අභාවයෙන් පසු ගාලු නගරයට පැමිණ තනිවම ජීවත් වෙන තරුණයෙක්. චිත්‍රපටයේදැක්වෙන ආකාරයට ඔහු එතරම් මුදලක් නොලැබෙන ආකාරයේ සුළු රැකියාවක් කරනපුද්ගලයෙකි. එම සුළු මුදලින් ඔහු තමාට නවාතැන් ගැනීමට ඉතා පැරණිගොඩනැගිල්ලක පිටුපස කොටසක් කුලියට ගෙන ජීවත් වෙයි. ඔහුගේ මවගේ මියයාම ඔහුගේසිත තුල දිගින් දිගටම කැකෑරෙමින් තිබෙයි. මවගේ මියයාම කුමක් නිසාසිදුවුවාදැයි පැහැදිලිව කියා නැතත් ඇය මියගියේ ඔහුගේ වරදින්ය යන වරදකාරීහැඟීම ඔහුගේ සිතේ නිතර දෝංකාර දෙයි. පියල් තම මවට ඉතා සමීප පුද්ගලයෙකුවියයුතුය. ඒ මන්ද යත් වරින් වර පියල් තම මවගේ ඉතිරිව ඇති එකම එක මතක සටහනවන ඇයගේ අවමංගල්‍යයේ චායාරූප නිතර නිතර බැලීමට පුරුදුව සිටින නිසා ය. එමචායාරූප ඇතුලත් ඇල්බමය කාවන් විසින් කා දමා ඇති ඇල්බමයකි. පියල් ගතකරනකර්කශ අසරණ සහ අහිංසක ජීවිතය එයින් සංකේතවත් වනවා විය හැක.

අමන්දා:
පොහොසත්පවුල් පසුබිමකින් පැමිණ පියල්ගේ අසල්වැසි නිවසේ තම පෙම්වතාත් සමග ජීවත්වෙනතරුණියක්. ඇය කලක් විවාහ වී විදේශගතව සිට නැවත තම රටට පැමිණ අතු බවක්දකීමට තරම් යම් සාක්ෂි චිත්‍රපටය තුලින් හමුවේ.

නදීක:
ඔහුදයමක් කමක් ඇති පශ්චාත් තරුණ වියේ පසුවන පුද්ගලයෙකි. වෘත්තියෙන් සංගීතඥයෙකි. අමන්දාගේ පෙම්වතාය. චිත්‍රපටයෙන් ලබාදෙන සාක්ෂි වලට අනුව ඔහුදෙබිඩි ජීවිතයක් ගතකරන පුද්ගලයෙකි. එහෙත් ඔහු ජීවත් වන්නේ තම දෙබිඩි ජීවිතයනිසා සිත ඇතුලෙන් විඳවමින් බවද පෙනීමට තිබේ. එහෙත් අමන්දා යනු ඔහුගේප්‍රථම පෙම්වතියයි. ප්‍රථම පෙම්වතිය කෙරෙහි ඇති ආදරය කුමන දේ සිදුවුවත් උඩටමතුවී පැමිණීම නිසා ඔහු අමන්දා සමග ජීවත් වීමට තෝරාගන්නවා විය හැක. නමුත්එය ඔවුන් දෙදෙනාම නොදන්නා ඛේදවාචකයකි. නදීක යනු මේ වනවිටත් සමාජයේයතාර්ථවාදී දූෂණයට ලක්වූ බහුතරයක් අතරින් තවත් එක මිනිසෙකි. අමන්දා කෙරෙහිතමන් තුල වසර ගණනකට පෙර තිබුණු ආදරය තවමත් ඒ අයුරින්ම හදවතට දැනුනත් ඒදැනෙන්නේ පෙර තිබූ ආදරය නොව ආදරය නැමැති හරය නොමැතිව ගොස් හැඟීම පමණක් බවඔවුන් දෙදෙනාම වටහා ගැනීමට ගතවන්නේ එතරම් කාලයක් නොවේ.

ඔවු!ඉහත චරිත තුන විස්තර කිරීමේදී අමන්දාට ලැබුණේ අසාධාරණ ලෙස අඩු ඉඩක් ය. ඒඇය තනි චරිතයකට වඩා අනෙක් චරිත දෙක අතර දෝලනය වන හා ඔවුන් තුල වරින් වරජීවත් වන චරිතයක් වීමය. අනෙක් චරිත දෙකෙහි විස්තරය දිගු වුවත් ඒ පේලි වලින්සියයට අනූවක්ම ලියවෙන්නේ අමන්දා නිසාය.

සංකේතවාදී කතාවක ගලායාම:
පියල් ට අමන්දාසහ නදීක යන පුද්ගලයින් දෙදෙනා මුලින්ම හමුවන්නේ කටහඬ දෙකක් ආකාරයෙනි.පැරණිබිත්තියකින් පමකන් වෙන්වූනවාතැන් දෙකක එක් පසෙක පියලුත් අනෙක් පස අමන්දා සහනදීකත්ජීවත් වෙයි. පියල් මුලින්ම අමන්දා දකින්නේ තම හැඟීම් සන්තර්පණයකරගන්නා සරාගී ගැහැණියක් ලෙසයි. තනිව එමෙන්ම තනිකමෙන් සහ සිතෙහි කැකෑරෙන පීඩනයකින් ජීවත්වන පියල්ගේ සිතෙන් මේ සියලු පීඩන වල එකතුව ලිංගික ආශාවක්ලෙස එළිදකින්නේ එවිටය. අමන්දාගේ මුහුණ දැක නැතත් ඇය නදීක හා කරන ආලින්ගනයන්සවන්දීමෙන් වින්දනය කරන ඔහු ඇයව තමන්ගේ ලෝකයේ මවාගෙන ඇය සමග තනිව වින්දනයකරනා බවක් ද පෙනීමට තිබෙයි. (හිනා වෙන්න එපා. මේ වැලක් නෙවෙයි. උඹලා ඔක්කොමඋපාසකයෝ වගේ ඇඹරී ඇඹරී ලෝකට පෙන්නගෙන හිටියට උඹලා සේරගේම හිත් ඇතුලේ දුවනලෝකෙට නොපෙන්නන මනුස්ස හැඟීමක් මේක.)සිතින් මවාගත් අමන්දා කෙනෙකු සමගතමන්ගේම ලෝකයක තනිවන පියල් ඒ කටහඬ ඇති සැබෑ ගැහැණිය සමග ඉතා ප්‍රබලහැඟීමකින් බැඳෙයි. අමන්දා එහා පැත්තේ නාන කාමරය තුල නාමින් සිටියදී නානකාමරයෙන් ගලා යන ඇයගේ ඇගෙන් සේදී යන සබන් වතුර පාරට තම කකුල තබමින් ඇගේ පහසලැබූ එම වතුර පාර තම කකුලේ ගැටීමෙන් ඔහු ලබන වින්දනය තුලින් එම බැඳීමපෙන්වන්නේ අතිශය ප්‍රබල අන්දමකටය.

තනිව ජීවත්වන පියල්ටතමාගේ තනිකම යාන්තමින් හෝ බෙදාගැනීමට සිටින්නේ වෙන කාටදෝ අයිති බළලෙකුපමණි. ඔහු බළලාට "උඹ මහ කරදරයක් " යයි කිවුවද එම බලළාව ඔහු යන යන තැන ඔහුසමග එනවාට කිසිදු බාධාවක් පෙන්වන්නේ නැත. ඒ කරදරයක්ලෙස පෙනුනද පියල්ගේජීවිතයත් සමග එතෙක් සෘජුව ගැටෙන එකම චරිතය එම බළලා පමණක් වීමය. දිනක්පියල්ගේ අසල්වැසි නිවසේ සිදුවන ප්‍රේම ආලින්ගනයන්ට කන්දෙමින් සිටිද්දීපියල්ට ඇසෙන්නේ මීයකු නිසා ඔවුන්ගේ හැසිරීමට බාධා වන බවයි. පියල් මෙම මීයාමරා දැමීමට තීරණය කරන්නේ. ඇයට තිබෙන බැඳීම නිසා ඇය වෙනුවෙන් විය හැක.එමෙන්ම මීයා නිසා ඇය හා නදීක යෙදෙන ප්‍රේම ආලින්ගනයන් හට බාධා වී තමන් තනිවලබන වින්දනයටත් බාධා වීම නිසාද විය හැක. එවන් හැඟීම් මා පෞද්ගලිකවහඳුන්වන්නේ ආත්මාර්ථකාමී පරාර්ථකාමය ලෙසයි. එය යතාර්ථවාදී මානුෂීය හැඟීමකි.නමුත් සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීමකි. මීයා මැරීමට ගෙනා මී පාසානම් පියල්විසින් දමන්නේ ඔහු සමග එන බලළාව එදින නිවසෙන් එළියේ තබා වුවත් බළලා කෙසේ හෝපියල්ගේ නිවසට රිංගා එම මී පාසානම් දැමූ බත් පත කා දමයි. එයින් මරණීයවේදනාවට පත්ව දිවයන බළලා මියගොස් ඇත්තේ අසල්වැසි නිවසේ නානකාමරයෙන් වතුරගලා යන සිදුරෙන් රින්ගීමට ගොස් එහි සිරවී සිටියදීය. කිසිවක් නොදන්නා පියල්මේ පිළිබඳව දැනගන්නේ තමා මෙතෙක් කල සිතින් විඳි ගැහැණිය තමා හා සෘජුව කරනුලබන ප්‍රථම වාචික සම්බන්ධයේදීය. ඇඳට වී සුපුරුදු ලෝකයේ තනිවී සිටින පියල්ට "එහා පැත්තේ කවුරුත් ඉන්නවාද?" යනුවෙන් අමන්දා කතා කරනු ඇසීමෙන් ඔහුඅන්දුන් කුන්දුන් වී යයි. තමා සිතින් බැඳුනු කාන්තාවක් තමා සමග ප්‍රථමයෙන්මකතාකරන අවස්තාව කෙතරම් ප්‍රබලව දැනෙනවාදැයි මා අමුතුවෙන් කිව යුතු නැති මාසිතමි. ඒ අප සියල්ලෝම වාගේ එවන් අවස්තාවක් විඳ ඇතැයි මා විශ්වාස කරනබැවිනි. අමන්දා මේ කතා කරන්නේ ඇත්තටම තමාටමදැයි සිතාගත නොහැකිව ඔහු මදවෙලාවක් බලාසිටී. ඉන්පසු ඔහු දෙගිඩියාවකින් පෙරලා ඇයව අමතයි. "ඇයි දන්නෙනෑ." එවිට අමන්දාගෙන් පෙරලා ලැබෙන පිළිතුර වන්නේ නානකාමරයේ වතුර ගලා යන තැනබළලෙකු සිරවී මැරී ඇති බවයි. පියල්ගේ සිතෙහි ඇතිවූ උද්දීපනය මහාකඩාවැටීමක් බවට පත්වීමට යන්නේ නිමේෂයකි. ඔහු හැරී අසල්වැසි නානකාමරයෙන්වතුර ගලා යන කාණුව දෙස බලයි. බළලා මියගොස් සිටිනු ඔහු දකී. තමන්ගේ නොවුනත්එම බළලා තමාට සිටි එකම සමීපතමයාය. තම පවුල සිටියත් එය හැරදමා විත් කාත්කවුරුවත් නැත්තකු ලෙස ජීවත්වන පියල්ට මේ කාත් කවුරුවත් නැති බලලාව මෙතරම්සමීප වන්නේ ඌ පියල් වාගේම කෙනෙකු ලෙස දැනීම නිසා වියහැක. මොයගිය බළලාදැකීමෙන් පියල්ගේ සිතේ ඇති වන්නේ කැළඹිලි සහගත එමෙන්ම හිස් බවකින් යුත්හැඟීමකි ඒ හැඟීම වචනයෙන් කීමට මමද අපොහොසත් වෙමි. එකදිගට පැමිණෙන කරදරගොඩක් මැදදී තවත් කරදරයක් සිදුවූ විට සිතට දැනෙන ඒ අසරණ හිස් හැඟීම මෙයකියවන සමහරුන්ට දැනී ඇතැයි මා සිතමි. මියගිය බළලා දෙස බලාසිටින පියල්ගේමුහුණේ ඇති අතිශය ප්‍රබල එහෙත් හිස් හැඟීම මගේ සිත තුල තාමත් හොල්මන්කරන්නේ සහ වරක් දෙවරක් නොව වාර ගණනාවක්ම අහේතුකව මා හැඬවීමට සමත් වන්නේඑලෙසය. කතාවේ ඊලග කොටස හමුවන්නේ චිත්‍රපටය තව දුර ගියාට පසුවය. මියගිය බළලා තමාට ඉවත්කිරීමට සිදුව ඇති බව පියල් දනී එහෙත් ඔහුට එය ඉවත්කිරීමට තරම්සිත නොදෙන්නේ තමා සමග සිටි එකම සමීපතමයාගේ මියගිය මුහුණ දැකීමද වේදනාවක් වනනිසා වියහැක. වෙන්වයාම යනු අමුතු අත්දැකීමක් නොවන පියල්ට මේ වෙන්වයාමත්තවත් එක් වෙන්වයාමක් පමණක් වුවද තමා මෙලොව කෙතරම් අභ්‍යන්තර වශයෙන් තනිවූකෙනෙකුදැයි නැවතවාරයක් තමාට මතක් කරදීමට එය හේතු වනවා විය යුතුය. මියගියබළලා දෙස හිස් වූ බැල්මකින් බලාසිටින පියල් එක්වරම දකින්නේ තම වාසස්ථානයවෙත පැමිණ සිටින අමන්දා වයි. මෙතෙක් කල හඬක් පමණක් වූ ඒ අමන්දා ඔහුට රූපයක්වූයේ එවිට විය හැක. අමන්දා පියල් වෙත පැමිණ අසන්නේ මියගොස් සිටින බළලාපියල්ගේද යන්නන්යි. කීමට කිසිවක් නොමැතිව හිස් බැල්මෙන් දෙපස බැලීම හැරෙන්නට වෙන කිසිවක් පියල්ට කරගත නොහැක. ඒ බළලා පියල්ගේද කියන්නට පියල්වත්නොදනී. තමන්ගේ නොවුනද ඌ එක්තරා පැතිකඩකින් තමන්ගේම වැනිය. ඊටත් වඩාමෙතැනදී ප්‍රබල වන කරුණ නම්. පියල්ගේ දෙපසින් විවිධ ආකාර දෙකකින් හද සසලකරවන සිදුවීම් දෙකකි. එක් පසෙක තමා සමග නිකමට හෝ සිටි එකම ජීව වස්තුව, බළලාමියගොස් ය. අනෙක් පස ඔහු මෙතෙක් කල දැඩි හැඟීමකින් බැඳුනු අමන්දා ඔහුගේ ඇසඉදිරිපිටය. (ඔව් මා එක හඳුන්වන්නේ දැඩි හැඟීමකින් බැඳීමක් ලෙසයි. මන්ද යත්මා දකින අයුරින් පියල් මේ වනවිට අමන්දා කෙරෙහි ඇත්තේ ආදරයක් නොව දැඩිරාගික හැඟීමක් හා ඒ වටා එතුණු බැඳීමක් නිසයි.) කරකියාගත නොහැකි පියල් දෙපසබලනවා පමණි. මියගිය බළලා ඉවත්කිරීමට පියල්ට හිතේ ධෛර්යයක් නොමැති බව වැටහෙනඅමන්දා ඇය විසින්ම බළලා ඉවත් කිරීමට ඉදිරිපත් වෙයි.

මියගිය බළලා පියල්ගේදැයි අමන්දා ඇසූ මොහොතේ අමන්දා දෙස බලා සිටින පියල්

ඉහතවිස්තර වූ සිද්ධිය චිත්‍රපටයේ ප්‍රධාන කතාවට සෘජුව සම්බන්ධ නොවුනත් එමකුඩාසිද්ධි දාමය අතිශය ප්‍රබල ප්‍රකාශනයන් ගණනාවක් ඉදිරිපත් කරන එකක් ලෙස මමදකිමි. එමෙන්ම පියල් නැමැති තරුණයාගේ මානසික හා සමාජයීය පරිසරය ප්‍රබල ලෙසගෙන හැර දක්වන සිද්ධි දාමයක් ලෙස එය හැඳින්විය හැක. මා එය එතරම් දිගටවිස්තර කරේ එබැවිනි.

ප්‍රධාන කතාවට නැවතත් අප ගොඩවදින්නේ මෙතැන් සිටය.

පියල් තමාගේ කුඩා නිවස්නයේ සිට අසල්වැසි නිවසෙන් ඇසෙන කතාබහට සවන්දෙමින් සිටී. අසල්වැසි නිවසෙන් ඇසෙන හඬ අනුව අමන්දාත් නදීකත් කාම රංගනයක නිරතවෙයි. තේරෙන භාෂාවෙන් කියනවානම් ලිංගිකව හැසිරීමට පූර්ව රංගනයක නිරතවෙයි. “අනේ නදී, කොන්ඩම් එක දාල මම කැමති නෑ.” මේ අමන්දාගෙන් පිටවන එක පැහැදිලි වාක්‍යයකි. එම දෙබස මෙම කතාවේ ගලායාමට හේතුපාදක වන එක මූල බීජයක් වීමටද හැක. ඒ කෙසේදැයි ඉදිරියට ඔබට තේරේවි. (හැබැයි දැනටමත් හිතාගෙන ඇතිබවක් මටනම් තේරෙයි.) ඉහත මා සඳහන් කල අමන්දා හා නදීක අතර ඇතිවන මීයා සම්බන්ධ කතාවද ඇතිවන්නේ මෙමෙ සිද්ධියේදීය. පෙර මා සඳහන් කල පරිදි මෙම කතාව මුල මැද අග හොඳින් පටලවා ඇති නිසා පිළිවෙලින් කතාව ඉදිරිපත් කිරීම අපහසුය.

ඒ එක් වැදගත් අවස්තාවක් ය. ඉන්පසු මගේ සිත දිවයන ඊළඟ ප්‍රබල අවස්තාව වන්නේ අමන්දා එක්තරා රෝහලක පුටුවක වාඩිවී සිටින ආකාරයයි. රෝහලේ විදුලි සෝපානයෙන් ඉවතට ස්ට්‍රෙචරයක තබා ගෙනයන රෝගියෙකු දෙස අය උනන්දුවෙන් බලයි. අනෙක් සියල්ලෝම මෙන්ම මමද එවිට සිතන්නේ එම රෝගියා කතාවට කොහෙන් හෝ සම්බන්ධ වන බවයි. නැත. එහිදී ඉස්මතු කරන්නේ වෙනත් දෙයක්ය. එය ඔබ මා සියල්ලම හොඳින් දකින මුත් සිතින් විඳිනවා හැරෙන්නට කතාවට පටලවාගන්නට උත්සාහ කරන්නේ නැත. එහෙත් ඇත්තෙන්ම කතාවට පටලවා ගතයුත්තේ එයයි. හොඳින් බලන්න. හොඳින් බලන්න. හොඳින් බලන්න! අමන්දාගේ පපුව දෙස හොඳින් බලන්න. නැහැ. ඔබ බලන්නට අවශ්‍ය නැත. එය ඔබට හොඳින් ඉස්මතු වී පෙනෙනවා ය. අමන්දාගේ පියයුරු දෙක ඉතා හොඳින් සහ පිරිපුන් අන්දමින් පෙනෙන්නට ඇත. එය ඔබට ඒ අවස්ථාවේ එසේ පෙනිය යුතුය. ඒ මෙම කතාවේ තවත් කොටසකට මූල බීජය වන්නේ එය බැවිනි. මා විශ්වාස කරන අන්දමට චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද එහිදී උත්සාහ දරා ඇත්තේ ප්‍රේක්ෂකයාගේ ඇඟටපතට නොදැනී එය සිත තුල රහසේ තැන්පත් කිරීමටය. මන්දයත් පසුව ප්‍රේක්ෂකයා (සමාවන්න. සිහිබුද්ධියක් ඇති ප්‍රේක්ෂකයා.) යථාර්ථයේ ගින්නෙන් දැවීමට ඇඟට හලන පෙට්‍රල් කෑන් එක එය බැවිනි. එහිදී මා දකින අයුරින් නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සාර්ථක වන්නේ එසේ මෙසේ අයුරින් නොව අති සුපිරි ලෙස ය. ඔහු අමන්දාව බාගෙට අන්දවා පෙන්වන්නේ නැත. ඇඳුම් ගලවා පෙන්නන්නේද නැත. පපුව ඉස්සරහට දමන්නේද නැත. කැමරාව ඒ අහලකටවත් සූම් වන්නේද නැත.

ඒ සිද්ධිය එතනින් අවසානය. ඊළඟට මට මතක්වන සිද්ධිය නම් අමන්දා නානකාමරයේ නාමින් සිටිද්දී හඬමින් සිටීමයි. එය පියල්ගේ සහ නදීක, අමන්දා ගේ යන කෝණ දෙකෙන්ම ඉදිරිපත් කරනු ලබයි. නදීක මේ අවස්ථාවේ නිවසට පැමිණෙයි. අමන්දා හඬමින් සිටිනවා ඇසෙන නදීක නානකාමරයේ දොර හැරගෙන අමන්දා වෙත යයි. අමන්දාගෙන් ඇය හඬන කාරණය විමසූ විට අමන්දා කරන්නේ නදීකගේ අතින් අල්ලාගෙන එය ඇගේ වම පියයුර මතින් තබා හඬා වැටීමයි. ඔව්. මෙවර ඔබේ අනුමානය නිවැරදිය. අමන්දාට පියයුරු පිළිකාවක් වැළදී ඇත. ඔබ නිවසේ සිටින දින වලට හොරෙන් බලන නුග සෙවණට හා සෙලින්කෝ පියයුරු පිළිකා මධ්‍යස්ථාන ප්‍රචාරක දැන්වීම් වලට පින් සිද්ධවන්නට අද ඔබට එය අනුමාන කරගැනීමට ගතවූයේ තත්පර කිහිපයක් පමණි. එතැන සිද්ධිය එසේ වුවත් බිත්තියෙන් එහා ජීවත්වන පියල් කිසිවක් නොදනී. ඔහු දන්නේ අමන්දා හඬන බව පමණි. නදීකට අමන්දා පිලිබඳ තම සිතෙහි ඇති බැඳීම ටිකෙන් ටික නැතිවෙන්නට පටන්ගන්නේ මෙතැන සිටය. තම සිතේ අමන්දා ගැන තිබුනේ හැඟීම මුලික කොටගත් බැඳීමක් පමණක් බවද ඔහුට ටිකෙන් ටික තේරුම් යන්නේ මෙතැන් සිටය.

පියයුරු පිළිකාව සම්බන්ධව අමන්දාගේ බ්ලොග් සටහන් (Ama's Mirror of Thoughts) කියවමින් ඒවා විවේචනය කරන නදීක හා කල්පනාවක නිමග්නව සිටින අමන්දා

අමන්දා ඇගේ පියයුරු පිළිකාවට ප්‍රතිකාර ලබාගන්නවාද නැද්ද යන්න ඔබට පැහැදිලිව පෙන්වන්නේ නැත. එහෙත් ඇයව වෛද්‍යමය පරිලෝකනයකට ලක්කරනවා ඔබට දැකගත හැක.

කෙසේ වෙතත් දැන් කතාව තවත් පැත්තකට හැරෙනවාය. ඒ බිත්තියෙන් එහා පියල්ගේ ලෝකයට ඇසෙන තවත් දෙබසකිනි. අමන්දා ගර්භණී වී ඇත. නදීක අමන්දාගෙන් අසන්නේ එය දැනගත්තේ කෙසේද යන්නයි. එවිට අමන්දා කියන්නේ ඇය මෙරටට පැමිණීමට පෙර එය පිළිබඳව දැනගත් බවයි. ඒ කතාවට අනුව අමන්දාගේ කුස තුල සිටින කළලය කාගේදැයි කුඩා පරශ්නයක් මතුවුනද වැඩි වාසියක් ඇත්තේ නදීකගේ පැත්තට නිසා මමද දැනට ඒ පැත්ත ගනිමි. ඒ මා මීළඟට කියන දෙබස අක පසකට පක්ෂපාතී කිරීමෙනි. චිත්‍රපටයේ එක් තැනකදී ඔබට නදීකගේ මුවින් පිටවන යම වචන ටිකක් අසන්නට ලැබෙයි. “මම බැඳලා නෑ. ඒත් මට ගෑණියෙක් ඉන්නවා. ඒ ගෑණිට දැන් දරුවෙක් ඉන්නවා.”. මෙම දෙබස මා මගේ කතාවට සහය වීම පිණිස පක්ෂපාතී කරන්නේ එම ගැහැණිය අමන්දා ලෙසය. එවිට දරුවා නදීකගේ කියා යම තරමකින් තර්ක කල හැකි නිසාය. පොඩ්ඩක් ඉන්න. එසේද බැරිය. අමන්දා කිවූ පරිදි ඇය ගර්භණී බව දැනගන්නේ පිටරටදීනම් තවත් පටලැවිල්ලකි. චිත්‍රපටයේ අවසානයේ හතර හොල්මන් වී නිවස බලා යමින් සිටියදී මගේ එක් සහෝදරයෙකු තර්ක කල අයුරට නම් නදීක සඳහන් කල ඒ ගැහැණිය අමන්දා නොව වෙනත් ගැහැනියකි. ඇයටද දරුවෙක් සිටී. එහෙත් අමන්දාගේ දරුවාද නදීකගේ ය. එසේ මෙසේ ගත්කල එය වියහැකියාවන් පඳුරකි. ඔබට කැමති කොලයක් ඉන් කඩාගැනීමට ඔබට අයිතියක් ඇත. කොයි කොලය කඩාගත්තත් එය කොළයකි. එනම් අමන්දා දැන් ගර්භණී ය.

නදීකගේ සිතෙන් වියැකී යන්නට පටන්ගත් අමන්දා පිලිබඳ බැඳීම වෛරසයක් බවට පත්වන්නේ මෙතැනදීය. අමන්දා සමග කල් ගෙවීමටනම් නදීකට අමන්දාගේ කලලගත දරුවා ගබ්සා කල යුතුය. ඔහු අයට ඒ පිළිබඳව බල කරයි. නමුත් අමන්දා පවසන්නේ ඇය කිසිසේත්ම එම දරුවා ගබ්සා නොකරන අතර කෙසේ හෝ දරුවා හදා ගන්නා බවයි. මෙය අසන නදීක අමන්දා හැර යන්නටම යයි. එයින් සිත රිදවීමට පත්වන අමන්දා දරුවා ගබ්සා කරගැනීමටයි නදීක අයට දුන් බෙහෙත් පෙති පානය කරයි. ඒ බවට සාක්ෂි හමුවන්නේ පසුව දර්ශන වලින්ය.


මෙතෙක් වේලා බිත්තියක් තුල ජීවත්ව සිටි පියල් බිත්තියෙන් එලියට පැමිණෙන්නේ මෙතැනදීය. එසේ පැමිණීමට පෙර මා පියල් සම්බන්ධ තවත් පෙර සිද්ධි කිහිපයක් පැවසිය යුතුය. එක්වරකදී අමන්දා හා නදීක ලිංගික හැසිරීමකට පූර්ව රංගනයේ නිරතවේ. ඔවුන් ශබ්ද නගා එය සිදුකරන්නේ එහා නිවසේ පියල් නැති බව නදීක පැවසූ හෙයිනි. සැබවින්ම නදීක සිතාසිටියේ පියල් නැති බවයි. ඒ පියල් නිවසින් යනු ඔහු ඊට ටික වෙලාවකට පෙර දුටු නිසයි. නමුත් ඔහු නොදන්නා දෙය නම් පියල් නැවතත් තම නිවසට පැමිණි බවයි. පියල් සුපුරුදු පරිදි බිත්තියෙන් එහා පැත්තට වී මේ කාම රංගනය තම සිතේ මවමින් තනිව විඳිමින් සිටී. සිතෙන් විඳින සීමාවෙන් ඔබ්බට ගොස් දෙඇසින් එය දැකගැනීමේ ප්‍රකෘති මානුෂීය හන්ගීමේ තවත් එක් උදාහරණයක් වන පියල් මෙම නිවෙස් දෙක වෙන්වන තනි බිත්තියේ ඇති එකම එක විවරයෙන් ඒ දෙස බැලීමට තත කරයි. වැඩේ වරදියි. පෞරාණික බිත්තියෙන් කැඩීගිය සිමෙන්ති කැබැල්ලක් අමන්දා හා නදෙක සිටින ඇඳට වැටේ. පියල් එහාපැත්තේ සිටින බව තේරෙන නදීක එහාපැත්තට ගොස් පියල්ට හොද කණේ පහරක් එල්ල කරන්නේ තුවාල වන ලෙසටය. පියල් කිසිවක් නොකර බලාසිටිනවා පමණි. ඉන්පසු අප දකින්නේ අමන්දා පියල්ව නදීකගේ කාරයේ දමාගෙන ප්‍රතිකාර සඳහා රැගෙන යාමයි. සිහි මද තත්වයක් පෙන්නුම් කරන පියල්ව අතින් අල්ලාගෙන ඔහු වැටීමට නොදී අමන්දා රථය ධාවනය කරයි.

නිවසට ඇතුළු වන විට අසල්වැසි නිවසේ කතාබහ ඇසී ඒ දෙසට අවධානය යොමු කරන පියල්

 ඒ එක් සිද්ධියකි. ඊළඟ සිද්ධියේදී සංකේතවත් කරන ආකාරයට නම් අමන්දා හා නදීක ලිංගික හැසිරීමේ නිරතව සිටී. නැවත වරක් තම හැඟීම් සීමාව පන්නා යන පියල් මෙය සියැසින් දැකගැනීමට බිත්තියේ ඇති සිදුරෙන් එබෙයි. ප්‍රේක්ෂකයාට දක්නට ලැබෙන්නේ ප්‍රබල වූ හැඟීමකින් බරව ඇඳමත නදීකට යටවී බෙල්ල පහතට කඩාවැටී ඇති අමන්දාගේ ඇස දෙකයි. එම ඇස දෙකෙහි ඇති ප්‍රබල හැඟීම සමහරවිට සුරාන්තය දක්වා පැමිණ අඩපණව සිටින අමන්දාගේ හැඟීම හෝ සිතෙහි වේදනාකාරී ගැටළු දහසක් සිරකරගෙන හැඟීමට පමණක් වහල් වූ නදීකගේ සිරුරට යටවී අසරණව සිටින අමන්දාගේ කෑගසා කිවනොහැකි වේදනාව හෝ විය හැක. ඔබ කැමති අයුරකින් ඔබට එය භාරගත හැක. කෙසේවෙතත් එලෙස ප්‍රබල හැඟීමකින් තිබෙන අමන්දාගේ ඇස් දකින්නේ බිත්තිය තුලින් හොරෙන් බලා සිටින පියල් වයි. ඇය ඒ වෙලාවේ ඊට විරුද්ධ වීමට කිසිවක් කරන්නේ නැත. හෝ ඊට විරුද්ධව කිසිවක් කරගැනීමට අයට නොහැක. එහෙත් අමන්දා තමා බලාසිටිනු දුටු බව තේරෙන පියල් ඉක්මනින් තමාගේ නිවස දෙසට බසියි. එසේ බසිද්දී බිත්තියෙහි ඇති විවරයට දමා ඇති වීදුරු කටු වලින් පියල්ගේ කකුල කපාගෙන යයි. රෙදි පටියකින් තුවාල වූ කකුල වෙලමින් සිටින පියල් වෙත එක්වරම පැමිණෙන්නේ අමන්දාය. අමන්දා තමන් වෙත වේගයෙන් පැමිණෙන පියල් කකුල බිමතබා සැරසෙන්නේ අමන්දාගෙන් හොඳහැටි පහරක් කෑමටය. පියල් එම පහර කෑ යුතු බව පියල් ද දනී. අමන්දා පියල් වෙත පැමිණ පියල්ට කණේ පහරක් ගසා ආපසු හැරී යයි. පියල් සිටි අයුරින්ම අමන්දා දෙස බලාගෙන සිටගෙන සිටින්නේ සමහරවිට පියල්ගේ සිතේ ඇති පිටකරගත නොහැකි අමන්දා සමග වූ ප්‍රබල බැඳීම නිසා විය හැක. විනාඩියක් පමණ එසේ ගතවේ. අමන්දා නැවත පියල් වෙත පැමිණ පියල්ව වැළඳගනී. අමන්දා එසේ කරන්නේ පියල් තමා වෙත දැඩි ලෙස ආදරයක් බැඳීමක් ඇතිබව දන්නා නිසාද වීමට පුළුවන.

කෙසේ වෙතත් පෙරකී සිද්ධියට අප නැවත පැමිණෙමු. සිද්ධිය නම් අමන්දා වේදනාවෙන් හඬනු පියල්ට ඇසේ. නදීක ද නිවසේ නැති බව පියල් දන්නේ නදීක පෙර අවස්ථාවේ කාරයට නාග නිවසින් පිටව යනු අසා සිටි නිසයි. කිසියම් දෙයක් වැරදී ඇතිබව තේරෙන පියල් අක්වරම දිවගොස් අමන්දාගේ නිවසට ඇතුළුවීමට තැත්කරයි. දොර අගුලු දමා ඇති නිසා අගුල කඩාගෙන පියල් පැමිණෙයි. හඳුම් හඬ පැමිණෙන්නේ නානකාමරයෙන් ය. එහිද දොරෙහි අගුල කද්දගෙන ඇතුළුවන පියල් දකින්නේ කොමෝඩය උද හිඳගෙන වේදනාවෙන් හඬන අමන්දා ය. එපමණක් නොම නානකාමරයේ බිම හැමතැනම ලේ බින්දු ය. තවත් හොඳින් බලන පියල් දකින්නේ අමන්දාගේ කකුල් දෙක දිගේ පහලට ගලන ලේ පහරවල් ය. ඔවු. අමන්දා නදීක ලබාදුන් ගබ්සාව සඳහා වූ පෙති පානය කිරීමෙන් ඇගේ කුසතුල සිටින දරුවා ගබ්සා වී ඇත.

ගබ්සා වීමෙන් පසු වේදනාවෙන් හඬමින් සිටින අමන්දා

ත්‍රී රෝද රථයක අමන්දාව නංවාගෙන අයව රෝහලක් වෙත පියල් රැගෙන යයි. එහිදී එක් තැනකදී ඔවුන් ගමන ගන්න රථය මග නතර කිරීමට සිදුවෙයි. චිත්‍රපටයේ පිටපත් රචකයා, තිර රචකයා සහ අධ්‍යක්ෂකවරයා මෙහිදී මුළු මහත් ප්‍රේක්ෂක සංහතියටම ගහන්නේ මගහැරයා නොහැකි කණේ පහරකි. ප්‍රභූ වාහනයකට ගමන කිරීම සඳහා මාර්ගය වසා ඇත. අමන්දා ත්‍රී වීලරය තුල මරණීය ලෙස සිටියත් මානුෂීය අවශ්‍යතාව දේශපාලන අවශ්‍යතාව කිසිදා අභිබවා යන්නේ නැත. එය හොඳින් ප්‍රේක්ෂකයාට එම දර්ශන පෙළ මතක කර දෙයි. එය ඔබ කොහේදෝ තිබෙන අමාරුවකට කැමැත්තක් පළකර ලොකු පුටුවලට යැවූ අමනයින් පිරිසක් නිසා ඔබට සිදුවන මගහැරයා නොහැකි කර්ම විපාකයයි. කෙසේ හෝ අමන්දාව ඉක්මනින් රෝහලට ගෙනයාමට තැත්කරන පියල් පොලීසිය සමග බහින්බස්වී පොලිස් නිලධාරියා ගසන කණේ පහරට බිම ඇදවැටෙයි. ප්රභූ රථ පෙළ ගොස් අවසාන වනතුරුම කිසිම වාහනයකට ගමන්කිරීමට පොලීසිය ඉඩ නොදෙයි. මෙය ඔබ අප සියල්ලම කුමන ආකාරයේ වැදගත් කාර්යයකට මහමගට ගියත් විඳීමට සිදුවන අපගේම (හරියටම කියනවානම් ඔබගේම) වැරදි ය. බිම ඇදවැටෙන පියල් දැක මරණීය වේදනාවකින් සිටින අමන්දා ත්රීවීලරයෙන් බසිනු පෙන්වූයේ මොන මගුලකටදැයි මා අදටත් ප්‍රශ්න කරන්නේ පියල් ගුටිකා බිම ඇදවැටෙනවාටත් වඩා එය දරාගත නොහැකි අතිශය සංවේදී දර්ශනයක් වීම නිසයි.

අමන්දා රෝහලේ ප්‍රතිකාර ලබයි. පියල් ඇය පිලිබඳ සියලුම සාත්තු කටයුතු සිදුකරයි. ඇයව පිරිසිදු කරයි. ඇයට කවයි පොවයි. එහිදී ඔබ දකින සුපිරි සංවේදී දර්ශනය නම් පියල් අමන්දාට සුප් ස්වල්පයක් පොවමින් සිටියදී අමන්දාට වමනය යාමට පැමිණීමයි. වමනය දැමීමට ඇල්ලීමට භාජනයක් සෙවීමට හතර ඇත බලන පියල් අයට වමනය පිටවද්දී එක්වරම අල්ලන්නේ තම අත්දෙකයි. මෙය මට පිහි දහයකින් එකවර ඇන්නා සේ වේදනා දෙන්නේ සංවේදී දර්ශනයක් නිසා පමණක් නොව එවන් පෞද්ගලික අත්දැකීමක් මාද ලබා තිබීමයි. පියල් සේ මමද අමන්දාට හදවතින්ම ආදරය කිරී‍මට පටන්ගන්නේ ද යටගියා වූ පෞද්ගලික මතකයක් දිගින් දිගටම මට පහරදීමට පටන්ගන්නේද එතැනිණි. සිද්ධිය ඉවර නැත. වමනය එකතු කිරීමට තම අත්දෙක එකතුකර අල්ලන පියල් සසලවී යන්නේ තම තත්පර කිහිපයකට පසු දකින දෙයිනි. තම ඇත දෙකෙහි පිරී ඇත්තේ වමනය නොව ලේ ය. පුපුරා ගිය හැඟීමකින් තම අත්දෙක දෙස විනාඩි කිහිපයක් බලාසිටින ඔහු සිතින් සිතුවේ “අනේ මගේ අමන්දා මට නැතිවෙයිද? හැමදේම නැතිවෙන මට මගේ නොවුනත් අමන්දා නැතිවෙයිද?” කියා වීමට පුළුවන. ඇත දෙකෙහි ඇති ලේ සේදීමට ඔහු මහත් පරිශ්‍රමයක් දරයි. එහෙත් එම ලේ සේයාවෙන් ඔහුට ගැලවීමට නොහැකි වන්නේ ඔහු ඇත සෝදන විට අතෙහි තිබූ කඩදාසිය සින්ක් එකෙහි සිරවී ලේ පති වතුර සින්ක් එක තුල එකතු වීමයි. ඔහු ඒ දෙස බලා සිටියි.

ඊළඟ දර්ශනය නම් පියල් තම නිවස තුල සිටියදී අමන්දා හැරගිය නදීක නැවත පැමිණීමයි. ඔහු පැමිණෙන්නේ පියල්ගේ නිවස තුලටය. එවිට පියල් සිටින්නේ විදුලි ස්ත්රික්කයෙන් ගවුමක් මදිමින් ය. එය අමන්දාගේ බව අමුතුවෙන් කිව යුතු නැත. පියල්ගේ නිවසට පැමිණෙන නදීකට තමාගෙන් අමන්දාට සිදුනොවූ සියලු යුතුකම් අහේතුකවම පියල්ගෙන් සිදුවන බව තෙරුම්යන්නේ පියල්ගේ නිවසේ රෙදි වැලේ සෝදා වේලෙන්නට වනා තිබෙන අමන්දාගේ යට ඇඳුම් කිහිපයක් දකින විටය. ඒ දෙස විනාඩි කිහිපයක් බලාසිටින නදීක නැවතත් පියල් අමන්දාගේ ඇඳුම් මදින දෙස බලා සිටී. තමා අතින් මගහැරයා නොහැකි වරදක් සිදුවූ බව නදීකට තේරුණා විය හැක. ඔහුව අප ඊළඟට දකින්නේ රෝහල තුල අමන්දා ළඟය. නදීක අමන්දාට කතාකරකර සිටියි.
“අමන්දා, මට ඔයාට කියන්න දෙයක් තියනවා. අමන්දා, මට ඔයාට කියන්න ලොකු දෙයක් තියනවා. අමන්දා, මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියනවා. අමන්දා... මට ඇත්තටම ඔයාට කියන්න ලොකු දෙයක් තියනවා.” ලෙස පෙරල පෙරලා කියමින් නදීක වහෙන් ඔරෝ කියන්නට තැත්කරන්නේ ඔහු අතින් වරදක් සිදුවුණ බව පිළිගැනීමට වීය හැක. මේ සියල්ල අසාගෙන අතසොදමින් සිටින බව පෙන්වමින් පියල් වතුර කරාමයෙන් යන වතුර පහර දෙස බලා සිටින්නේ හිස බැල්මකින්ය.

මෙන්න  මේ අවස්ථාවේ දකින්නට ලැබෙන තවත් අමුතු එමෙන්ම ප්‍රබල දර්ශනයක් ගැන මතක කල යුතුයි. ඒ තමයි. මේජවනිකා පෙළ මුළුල්ලේ පියල් ඇඳගෙන සිටින ටී ෂර්ට් එක. මේ දර්ශනය මට පෙන්නුවේ මගේ එක සහෝදරයෙක්. මේ අවස්ථාවේ පියල් ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එකේ කියලා තියනවා හරිම අමුතු කතාවක්. ඒ තමයි "STRANGERS HAVE THE BEST SWEETS". ඇත්ත වශයෙන්ම ඒ වචන ටික ඒ සිද්ධි දාමයට හරිම ප්‍රබලව බලපාන එකක්. ඒ කොහොමද කියලා ඔබම හිතාගන්න උත්සාහ කරන්න.

ඉහත සඳහන් ටී ෂර්ටය කර්ම හි පියල් හෙවත් ජගත් මනුවර්ණ කොඩිතුවක්කු හැඳ සිටින අවස්තාවක්. (අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි සහ මිෂෙල් හර්ෆ්ට් සමග චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු කරන අවස්තාවක සිදුකරනලද සාකච්චාවක චායාරූපයක්)

සියල්ල අවසන්ය. අමා නැවත සුවවී තම නිවසට පැමිණ සිටී. ඇය නැවතත් ජීවත් වන්නේ නදීක සමගය. පියල් සුපුරුදු ලෙස තම තනි ජීවිතය බිත්තිය එහා පැත්තේ ගත කරයි. නදීක සමග ජීවත් වුවත් නදීක තමන් කෙරෙහි කිසිම ආදරයක් හෝ අවධානයක් නැති බව අමතක කිරීමට අමන්දාට නොහැක. ඇය මේ සියල්ලෙන් නිදහස් වීමට නැවත රටින් පිටවීමට තීරණය කරයි. ගුවන්තොටුපොළ බලා නදීක සමග මෝටර් රථයෙන් පිටත්වන ඇය මගදී නතරවන්නේ නදීක ඇය රට හැරයාම ප්‍රතික්ෂේප කරන අයුරින් වාහනය මග නතරකරගෙන සිටීම නිසයි. මේ නිසා එතැන් සිට අමන්දා ගුවන්තොටුපොළ වෙත ත්‍රී රෝද රථයකින් ගමන කරයි. ගුවන් තොටුපොලටවී විදේශගතවීමට සූදානම්ව සිටින අමන්දාගේ සිත හදිසියේ වෙනස් වන්නේ තමාට සැබවින්ම රහසින් ආදරය කරන එක් පුද්ගලයෙකු තවමත් සිටින බව මතක වීම නිදා විය යුතුය. ඇය ඔහුට ඇමතුමක් ලබාදෙයි. ඒ පියල් ය. විදේශගත නොවන අමන්දා පියල් අමතා ඔහුව ගෙන්වාගෙන කුලී රථයකින් වෙනත් ගමනක් යාමට පිටත්වෙයි. තරමක් දුර බැහැර ප්‍රදේශයකට ඔවුන් යන බව පෙනෙයි. ඔවුන් යන්නේ කොහේදැයි පියල් අමන්දාගෙන් ඇසූ විට අමන්දා කියන්නේ ඔවුන් යන්නේ අමන්දාගේ පියාගේ නිවසට බවය. සැබවින්ම ඔවුන් යන්නේ අමන්දාගේ පියාගේ නිවසටය. එහෙත් දැන් ඒ නිවස පාලුවට ගොස් අතහැර දැමූ එකකි. එහි ගොස් ටික වෙලාවකට පසු අමන්දා පියල්ට ආපසු යන ලෙස කියාසිටී. තත්පරයක්වත් බලානිසිටින ඔහු එක්වරම ආපසු යාට පිටත් වෙයි. එහෙත් ටික වෙලාවකට පසු ඔහු ආපසු අමන්දා වෙත පැමිණෙයි. පියල් තමන්ට සත්‍ය වශයෙන්ම හා අවංකවම ආදරය කරන බව අමන්දා වටහාගන්නේ එවිටය.

තව කිසි දෙයක් කීමට පෙර කීමට අමතක වූ යම දෙයක් මා කිව යුතුය. මා දකින අයුරින් පියල් මෙතරම් අමන්දාට ආත්මීය ලෙස බැඳීමට පටන්ගන්නේ අමන්දා තම දරුවා කෙසේ හෝ හදාවඩා ගන්නවා යයි ඇය නදීකට කිවූ තැන සිට යයි මම සිතමි. තම මව සමග ඉතා සමීප ජීවිතයක් ගතකල පියල්. තමන්ට නැතිවූ මවු සෙනෙහස අමන්දා තුලින් දැක්කා වීමට පුළුවන. එය මා හට දැනෙන ආකාරය මෙන්ම මා විශ්වාස කරන ආකාරයයි.

නැවත අමන්දා වෙත පැමිණෙන පියල් අමන්දාගේ මුහුණ දෙස බලාසිටී. මුහුණ දෙස බලාසිටින ඔහු ඉන්පසුව බලන්නේ අමන්දාගේ පියයුරු දෙසය. මතක තබාගන්න මේ වනතුරුත් පියල් අමන්දාගේ පියයුරු පිළිකාව පිලිබඳ කිසිවක් නොදන්නෙකු ය. ඔහු ඉන්පසුව මන්දාගේ ශරීරය දෙසද බලා නැවත ඇයගේ මුහුණ දෙස බලා සිටී. පියල් තමන්ට සැබවින්ම ආදරය කරන බව තේරුම්ගන්නා අමන්දා එක්වරම පියල්ව තදින් සිපගනී. එය එතනින් කෙළවර නොවේ. තමන්ට ගැඹුරින් ආදරය කරන පියල් තමන් කෙරෙහි දැඩි රාගික ආශාවකින් ද පෙලෙන බව තේරුම් ගන්න ඇය පියල්ට එම පීඩනයෙන් නිදහස් වීම සඳහා තමා සමග ලිංගිකව හැසිරීමට ඉඩදෙයි. ඔබ හොඳින් චිත්‍රපටය නැරඹුවහොත් ඔබ දකින්නේ පියල් අමන්දා සමග ලිංගිකව හැසිරෙද්දී අමන්දා ඇඳ සිටින කමිසය ඉවත් කර නොමැති බවයි. මට මතක අන්දමට එය එසේයි. අමන්දා හැඳ සිටින කමිසය ඉවත් වන්නේ එම සිද්ධියෙන් පසුවය. අමන්දාගේ වම පියයුර ඉවත්කර ඇති බව පියල් දැනගන්නේ එවිටය. චිත්‍රපටයේ පෙර දර්ශනය වන, මමද මෙතෙක් සඳහන් නොකළ දර්ශනයක් ඉතා හොඳින් සම්බන්ධ වන්නේ මෙතැනදීය. පියල්ට එක්වරම තම කුඩාකල මතක් වෙයි. තම මවගේ පියයුරෙන් කිරි උරාබොමින් සිටින කුඩා පියල්ව ඇගේ මව වේදනාවෙන් කෑගසමින් තල්ලුකර දමයි. මා සිතන අයුරින් පියල්ගේ මව මියයාමට හේතුවද පියයුරු පිළිකාවක් වීමට ඉඩ ඇත. එම සිද්ධිය උලුප්පා දක්වමින් එය මෙතනට ඇති සම්බන්ධය මෙසේ වනු ඇතැයි මුලින්ම පැහැදිලි කරේ මගේ එක් සහෝදරයෙකි. අමන්දාගේ එක් පියයුරක් නොමැති පපුව දකින පියල් එක්වරම අසාමාන්‍ය අන්දමින් මහා හඬින් හඬා වැලපෙන්නට පටන්ගන්නේ තම මව මතක වීම නිසා වීමට පුළුවන.

දැන් කතාව අවසන්ය. අවසාන ජවනිකාව මෙසේය. අමන්දාගේ පියාගේ නිවසේ විශාල හිස කාමරයක් තුළ එක් පියයුරක් පමණක් හිමි අනෙත් පියයුර වෙනුවට ලේ පැහැති කැපුම් සලකුණක් පමණක් ඇති උඩුකය නිරුවත් අමන්දා බිම හිඳගෙන සිටී. ඇගේ උකුල මත පියල් හිත තබාගෙන අතිශය ගැඹුරු කල්පනාවක නිරතවෙයි. කැමරාව සූම් අවුට් වෙයි. එපමණයි. යථාර්ථයේ රළු පොළොවටම ඇද වැටුණු අමන්දා හා පියල් යථාර්ථයේ තවත් පැතිකඩක් අප මෙන්ම ඔවුන්ගේ මෙලොව ජීවත්වන කටුමැටි ජීවිතයට පහරදෙන තාක් කල් එක්ව ජීවත් වනු ඇත. නදීක ද කෙසේ හෝ ජීවත් වනු ඇත. යම කලකදී සියල්ලටම යථාර්තය අමතකවී ජීවිතය යයි කියාගන්නා බැලුම පුම්බා ඇන සවිකළ සපත්තු පැළඳ ඒ මත නර්තනයේ යෙදෙනු ඇත. බැලුම පුපුරා යලිත් යථාර්ථයේ රළු පොලොවට ඇද වැටුණු කල නැවතත් පෙර ලෙසම මනුෂ්‍යත්වය යන්තමින් හෝ තේරුම් ගනු ඇත. ඒ නම් වූ කලී නූතන සංසාරයයි.

ඉහත මා ඉදිරිපත් කල කතාව ඇත්තෙන්ම චිත්‍රපටයේ දර්ශනයන්ගෙන් සියයට පනහක් පමණ පමණි. මා පවසුවාටත් වඩා එය ගැඹුරුය. පැටලිලි ලෝකයක්ය. කිවූ දේට වඩා නොකියූ දේවල් බොහෝය. මේ ටිකද මෙසේ කියන්නේ චිත්‍රපටය බලා අවසන්ව අන්දුන් කුන්දුන් ව බසයට නැග ටිකට් ගැනීමට ඇති මුදල ගණන් කරගැනීමට පවා බැරි තරමට ඔලුව කුරුවල් වී සිට එතන සිට ගෙදරට එනතුරු ම මාගේ සහෝදරයන් දෙදෙනා සමග චිත්‍රපටියේ විසිරී ගිය කෑලි එකිනෙකට එකතු කරමින් කරන ලද කතාවෙනි. කතාව මෙතරම් හෝ නිරවුල් කරගත්තේ තවත් පැයක් පමණ මහා රෑ පාර අයිනකට වී මගේ සහෝදරයෙකු සමග මේ ගැන කතා කිරීමෙනි. තව බොහෝ තැන නිරවුල් කරගැනීමට උත්සාහ කිරීමටනම් එය තව වතාවක් නැරඹිය යුතුය.

චිත්‍රපටයේ  නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය ගැන වචනයක් කියනවානම් අධ්‍යක්ෂකවරයා විසින් මුළු චිත්‍රපටියම ඉතා අඳුරු ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබෙනු දක්නට ලැබෙයි. එය ඉතා සාර්ථක උපායක් ලෙස මා දකී. මගේ ප්‍රියතම ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ටිම් බර්ටන් මහතාගේ සියල්ල අඳුරෙන් දකින ශෛලියට කවදත් ප්‍රියකළ මා හට මෙම අඳුරු පරිසරය පාරාදීසයක් වැනිය.

නිල් කන්නාඩිය:
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නිර්මාණය වී ඇති වැදගත් යයි කිවහැකි චිත්‍රපට ප්‍රමාණය පෙන්වීමට මගේ එක අතක ඇඟිලි ප්‍රමාණවත් ය. එසේ පෙන්වීමට සමහරවිට එම අතේ ද ඇඟිලි දෙක තුනක් කපා ඉවත් කිරීමට සිදුවිය හැක. එය පුදුමයක් නොවේ. කර්ම යනු එසේ නිර්මාණය වූ ඉතා සුළු ප්‍රමාණයක් වූ වැදගත් නිර්මාණ අතුරින් නොබියව මුලින් තැබිය හැකි නිර්මාණයකි.

එහෙත් සමහරුන් එය දෙස බලන්නේ නිල් කන්නාඩියක් දමාගෙනය. වැඩිහිටියන්ට පමණයි යන වචන දුටු පමණින් නිල් කන්නාඩිය ඔවුන්ගේ ඇස වලට කඩා පාත් වන්නේ අහසින්ද කොහේදෝ ය. සැබවින්ම ඔවුන් වැරදි නැත. නිදි යහන ගිනි ගනී , අර රෙද්ද ගිනි ගනී, මේ රෙද්ද ගිනි ගනී යනුවෙන් අනෙක ලෙස වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නිපදවමින් රෙදි ගැලවීම පමණක් ප්‍රගුණ කල (සැබවින්ම එයද ප්‍රගුණ නොකළ) සම්භාව්‍ය සිනමා ක්ෂේත්‍රයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව කැලෑවට හඳ පෑව්වා වාගේ නිර්මාණය වූ මේ නිර්මාණය දෙස ද මුලින් බලන්නනේ නිල් කන්නාඩියෙන් ය. එහෙත් කනගාටුවට කරුණනම් එය අනෙක් ඒවාට වඩා සහමුලින්ම වෙනස් බව තේරුම් ගැනීමට  ඔවුන් නිකමටවත් උත්සාහ නොගැනීමයි. වැඩිහිටියන්ට පමණයි වචන පේලියට කලින් ඇති දැන උගත් යන වචන ටික ඔවුන්ට නොපෙනෙන්නේ එය ඔවුන්ගේ තත්වයට නොගැලපෙන නිසාවත් දෝ මට සිතෙයි. එසේ (නො)සිතන ඔවුන් මේ චිත්‍රපටියට දිගින් දිගටම ගල ගසන්නේ මෙය නිල් චිත්‍රපටයක් කියාය. සමහරුන් ගල් ගසනවා ඇත්තේ මෙය නිල චිත්‍රපටියක් නොවන නිසාද වෙන්නට පුළුවන. මන්ද යත් නිල් චිත්‍රපටයක් ය කියා පැනගෙන බලන්නට විත් බලාපොරොත්තු වූ කිසිදු දර්ශනයක් නොදැක ඔලුවද කුරුවල් වී එලියට යාමට ඔවුන්ට සිදුවන නිසාය. මා නැවතත් කියන්නේ කර්ම නිල් චිත්‍රපටයක් නොවෙයි. එයට වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇලවෙන්නේ යතාර්තවාදය ස්පර්ශ කරමින් මිනිස් සංහතියම හංග හංග කරනා යතාර්ථවාදී මිනිස් හැඟීම් එහු විවෘතව සාකච්චා කරන නිසයි. එයද දැන උගත් වැඩිහිටියන්ට පමණයි ලෙස තවදුරටත් පෙරාගන්නේ යතාර්ථය දරාගත හැකි මොලයට තවමත් ලේ බින්දුවක් හෝ ගමන කරනා වැඩිහිටියන්ට පමණක් මෙය නැරඹීම සුදුසු වන නිසාය. මන්ද යත් එසේ නොවුනහොත් අනෙක් අයට නැති යකෙකු වැසී හොඳහැටි මායම් වී තොවිල් නැටීමටද සිදුවිය හැකි නිසාය. කෙසේ වෙතත් සමහරකට තවමත් කර්ම නිල් චිත්‍රපටියක් පමණි. එපමණක් නොව ඔවුන්ට මෙය ලියන මම ජරා අමු වල් සතෙකි.

කවුරුන් කෙසේ කීවත් කර්ම නැරඹීමට සිනමා ශාලා තුල සිටින මහා සෙනග පිලිබඳ මම ඉතා සතුටට පත්වෙමි. සිය වතාවකටත් වඩා කර්ම නැරඹුවෝ බොහෝ සිටී. කර්ම හි ඇති වටිනාකම කවුරුන් නැතත් ඔවුන් හොඳින් දනී. ඔවුන් නම් සිනමා ශාලා පුරා ඇති හිස් පුටු ය. හදවත්, මොළ ඇති මනුෂ්‍යයාට වඩා යතාර්ථය තේරුම් ගන්නා හිස් පුටුව දකිනා මට අනාගතයේ විවාහ කරගැනීමට මිනිස් කාන්තාවකට වඩා ඒ හිස් පුටුවක්‌ වඩා ගැලපේ දෝ සිතේ. ඒ මන්ද යත් කර්ම දෙස නිල් චිත්‍රපටයක් ලෙස බලන මිනිසාට වඩා ඒ හිස් පුටුව තුල හරයක් තිබෙන නිසාය.

කර්ම නැරඹීමට ලැදි බුද්ධිමත් ප්‍රේක්ෂකයෙක්

උපහාරය:
අවසානයේ මා මේ වාක්‍ය කිහිපය වෙන්කරන්නේ මේවත් සුපිරි නිර්මාණයක් කිරීමට දායක වූ අද්විතීය මිනිසුන් වෙනුවෙනි.
ප්‍රසන්න ජයකොඩි - සුපිරි ලෙස චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්. විවිධාකාර වූත්, මනුෂ්‍යත්වයට අතිශයින් ලඟා වූත්, යථාර්තය මත සමපාත වූත් කෝණයන්ගෙන් චිත්‍රපටය දකිමින් වචනයෙන් කියා නිමකළ නොහැකි අනර්ඝ නිර්මාණයක් එලි දක්වූ ඔබ පෞද්ගලිකව මට වීරයෙකි. ඔබේ බිද්ධිමත් දෘෂ්ටිය තේරුම් ගැනීමට තරම් මිනිසුන් ටිකක් මෙරටේ නැති වීම පිළිබඳව මා අවංකවම කණගාටු වෙන අතර. යන්තමින් ගෝ ඔබගේ දෘෂ්ටියෙන් බැලීමට මම ද උත්සාහ කරමි.

නදීක ගුරුගේ - නදීක ගුරුගේ කියන නම මුලින්ම මම අසන්නේ දහය හෝ එකොළහ ශ්‍රේණියේ මා ඉගෙනුම ලබන කාලයේදී. බටනලා වාදනයක් ඉදිරිපත්කරමින් මුලින්ම රූපවාහිනියේ පෙනීසිටින ඔහු එදා සිටම මා ආදරය කරන ඉතා සුළුතරයක් වූ ශ්‍රී ලාංකීය සංගීතඥයන්ගෙන් කෙනෙකි. නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පැමිණ සංගීත ලොවේ මෙතරම් පෙරලියක් සිදුකරමින් ඉදිරියට පැමිණි ඔබ ගැන මම ආඩම්බර වෙමි. මෙතක් කල් අසා තිබුණු නදීක ගුරුගේ ට වැඩ සහමුලින්ම වෙනස් සංගීත අධ්‍යක්ෂණයකින් කර්ම ඔපවත් කරන ඔබ එය ප්‍රේක්ෂක සිත තුලට කාවද්දනවා නොව මිනිස් සිත තුල එක කැටයම් කරනවා ය. කර්ම තුලදී තරම් විපරීත වූ පසුබිම් ශබ්ධ මාලාවක් මා වෙන කිසිම ශ්‍රී ලාංකීය නිර්මානයක මෙතෙක් අසා නැත. එවන් දෙයක් ඔබ විසින් ඉදිරිපත් කිරීම සතුටට කාරණයක් මෙන්ම පුදුමයටද කාරණයකි.
නදීක නමැති චරිතයද සුපිරි ලෙස ඔපවත් කරමින් සුපිරි සංගීතඥයකුගේ ආධ්‍යාත්මීය රංගන හැකියාව ඇති සුපිරි ලෙස ඔබ ඉදිරිපත් කර ඇත.

මිෂෙල් හර්ෆ්ට් - ශ්‍රී ලාංකීය නිර්මාණයක් තුල ප්‍රථම වතාවට මා දකින ඔබ දකින්නේ වචනයෙන් කියා නිමකළ නොහැකි තරමේ අද්විතීය රංගනයක් කර්ම තුල ඉදිරිපත් කිරීමෙන් ය. කර්ම වැනි, මා දකින අයුරින් ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ සුපිරිතම සිනමා නිර්මාණය ඇති සුපිරි බවට පත්වන්නේ ඔබගේ ඇති උත්කෘෂ්ට රංගන හැකියාවෙන් හා උත්සාහයෙන් ය. වෘත්තියෙන් ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක වන ඔබ මෙවන් මානුෂීය චරිතයක් රඟපෑමට තරම් නිර්භය සහ උත්සාහවන්ත වූ ඔබට මාගේ ආචාරය පුදකරන්නේ හිසනමා ය. එපමණක් නොව මෙවන් චරිතයක් රඟපෑමට ඔබට බාධාවක් නොවී ශක්තියක් වූ ඔබට උදවු උපකාර කල ඔබව හොඳින් තේරුම්ගන්නා වෘත්තියෙන් නීතිඥයෙකු වන ඔබේ සැමියාටද මගේ මහත් වූ ගෞරවය පුදකරමි. ඔබ ලොවට තිලිණ කල අමන්දා අපේ සිතත් තුල සදාකල් නොමියෙන කාන්තාවක් වනු ඇත.
එමෙන්ම කර්ම සමග ඔබේ චිත්‍රපට ජීවිතයේ ආරම්භය මෙන්ම අවසානයද සටහන් කිරීම ගැන මා අවංකවම සතුටු වෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව ඔබ වැනි සුපිරි දක්ෂතා ඇති නිලියක් රඟපෑමට තරම් වටිනා නිර්මාණ ශ්‍රී ලංකාවේ නිර්මාණය නොවීමයි.

ජගත් මනුවර්ණ කොඩිතුවක්කු - ජගත් නමැති පුද්ගලයා මා මුලින්ම දකින්නේ 2003 වැනි කාලයක ජාතික රූපවාහිනියේ 3 to 5 වැඩසටහනෙනි. එතැන් පටන් ඔහු නිවේදකයෙකු ලෙස අන් අයට වඩා මගේ ප්‍රයතාවක් ලබා ගත් පුද්ගලයෙකි. මහනුවර දෙල්තොට ඉපිද දෙල්තොට මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹට පැමිණ නිවේදක වෘත්තියෙන් ජීවිතය අරඹා සිනමා අධ්‍යක්ෂණය හා කෙටි චිත්‍රපට නිෂ්පාදනය පිලිබඳ හදාරමින් බුද්ධිමත් කලාකරුවෙකු ලෙස ඉදිරියට පැමිණීම පිළිබඳව අවංකවම ආඩම්බර වෙමි. පියල් ලෙසින් අතිශය සුපිරි රංගන කෞශල්‍යයකින් ඔබ කර්ම නමැති නිර්මාණය අපේ සිත තුලට කාවද්දනවා පමණක් නොව එහි පිටපත් රචනයෙන්ද ඔබ කර්ම හා සම්බන්ධවනවා. ඔබද හවුල් වී නිර්මාණය කල ඒ කර්ම නම් චිත්‍රපටය ඇති සාර්ථක එකක් යැයි මට නොබියව කිවහැක්කේ ඉතාමත් සතුටෙනි.

ඔවුන් පමණක් නොව කර්ම නම් වූ මහා නිර්මාණය නිමකිරීම සඳහා නොයෙක් අයුරින් සම්බන්ධ වූ සියලු දෙනාට මාගේ හදපිරි ප්‍රනාමයද මෙසේ පුදකරමි. ඔබ සියල්ලෝම ශ්‍රී ලංකාවේ නිර්මාණය කල සුපිරිතම සිනමා නිර්මානයක සාඩම්බර කොටස්කරුවෝය.

නදීක

අවසාන වශයෙන් මට කීමට ඇත්තේ මෙතරම් දීර්ඝ ලිපියක් ඉවසීමෙන් සහ සිහිබුද්ධියෙන් කියවූ ඔබටද මා අතිශයින් ස්තුතිවන්ත වන අතර කර්ම වැනි සුපිරි නිර්මාණයක් බැලීමට වාසනාව ලද්දකු ලෙස මා ආඩම්බර වෙමි.

උමගෙන් එහා ලෝකයක තවත් මොනවාහෝ දෙයක් සමග ආයෙත් හම්බවෙමු! ජයවේවා!

- Wired-in Warrior -